71 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොටහේන, ශාන්ත ලුසියා දෙව් මැදුරේදී දේව මෙහෙයක්

2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන් පවත්වනු ලබන දේව මෙහෙය 2021 නොවැම්බර් 23 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන්, කොළඹ සහයක රදගුරු, ආචාර්ය ඇන්ටන් රන්ජිත් හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලාගේ සහභාගීත්වයෙන් කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාව ආරම්භ කරමින්, කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය 2021 නොවැම්බර් මස 11 සහ 12 දෙදින රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්විණි. ඒ අනුව, මෙම ආගමික වැඩසටහන් මාලාවේ නාවික හමුදාවට ආශිර්වාද පතා 2021 නොවැම්බර් 23වන දින කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේදී පැවැත්වූ ක්‍රිස්තියානි දේව මෙහෙය මඟින්, රට වෙනුවෙන් දිවිපිදු සහ අබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවන්හට මෙන්ම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ත නාවික හමුදාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම දේව මෙහෙය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, විධාන ආඥාපතිවරුන්, නාවික හමුදා සේවා වනිතා විධායක කමිටු සාමාජිකාවන්, නාවික හමුදා ‍අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති කොමදෝරු ප්‍රසාන්ත ඇන්තනී සහ නාවික හමුදා මූලස්ථානයට හා බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.