නාවික හමුදාව මඟින් පහසුකම් සංවර්ධනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් දෙකක් සිසු අයිතියට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම, ඇත්බටුව කනිෂ්ඨ විද්‍යාලයේ සහ සූරියවැව, වීරියගම මහා විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද (2021 නොවැම්බර් 29) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, චන්දිමා උළුගේතැන්න මහත්මියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව ආරම්භ කල සෑම නාවික විධානයක් තුළම අඩු පහසුකම් සහිත පාසල් සංවර්ධනය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, දකුණු නාවික විධානය මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම ප්‍රදේශයේ ඇත්බටුව කනිෂ්ඨ විද්‍යාලය සහ සූරියවැව ප්‍රදේශයේ වීරියගම මහා විද්‍යලයෙහි පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු 2021 අප්‍රේල් මස 19 වන දින ආරම්භ කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා පුද්ගලයන්ගේ මූල්‍ය දායකත්වයෙන් සහ දකුණු නාවික විධානයේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන්, ඇත්බටුව කනිෂ්ඨ විද්‍යලයෙහි සහ සූරියවැව වීරියගම මහා විද්‍යලයෙහි වසර ගණනාවක් අඩුපාඩුවක්ව පැවති ගුරු විවේකාගාරයක අවශ්‍යතාවය සහ නව පන්ති කාමර අවශ්‍යතාවය සපුරාලීම නාවික හමුදා දායකත්වයෙන් සිදු කෙරුණු අතර, අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි අවට භූමි අලංකරණ කටයුතු ඉතා ආකර්ශනීය ලෙස නිම කර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරදීම ද සිදු කෙරිණි.

මෙලෙස සංවර්ධන කටයුතු අවසන් කරන ලද නව ගොඩනැගිලි නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද දින (2021 නොවැම්බර් 29) සිසු අයිතියට පත් කිරීමට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සිසු දරුවන් 50 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ කට්ටල ප්‍රධානය කිරීම සංවිධානය කරන ලද අතර, එම පාසල් උපකරණ කට්ටල දරුවන් වෙත ප්‍රධානය කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි චන්දිමා උළුගේතැන්න මැතිණිය සහ නාවික හමුදාධිපති ඇතුළු පැමිණ සිටි නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවන්හිදී අදහස් දැක්වූ ඇත්බටුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති, එච්ඒ ප්‍රියන්ත මහතා සහ වීරියගම මහා විද්‍යලයේ විදුහල්පති පී රුවන් පතිරණ මහතා, ඉතා අඩු පහසුකම් යටතේ අධ්‍යාපන කටයුතු සිදුකරනු ලබන දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවස වෙනුවෙන් නාවික හමුදා දායකත්වයෙන් සිදුකළ මෙම මහඟු සමාජ සත්කාර්යය ඉතා ඉහලින් අගය කරන බව පවසන ලද අතර, සිසු දරුවන්, දෙමව්පියන් සහ ගුරු භවතුන්ද මෙම උතුම් සමාජ සත්කාර්යය සඳහා මුල පිරූ නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත ප්‍රශංසාව පුද කිරීමට කටයුතු කෙරිණි.

තවද, වීරියගම මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ පංති කාමර සහ ගුරු විවේකාගාරය සහිත ගොඩනැගිල්ල සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ විවෘත කෙරුණු අතර, නාවික හමුදාධිපති විසින් වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය උදෙසා අට පිරිකර පුජා කිරීම ද මෙහිදි සිදු කෙරිණි.

ඇත්බටුව කනිෂ්ඨ විද්‍යාලයේ සහ වීරියගම මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි අද දින (2021 නොවැම්බර් 29) සිසු අයිතියට පත් කිරීමත් සමඟ, නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව ආරම්භ කෙරුණු දිවයිනේ පහසුකම් අඩු පාසල් සංවර්ධනය කිරීමේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ කෙටි කාලයක් තුල පාසැල් අටක් (08) සංවර්ධනය කර, දැයේ අනාගත දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවස සඳහා වඩා හිතකර පරිසරයක් නිර්මාණය කරදීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති හුංගම ඇත්බටුව කනිෂ්ඨ විද්‍යාලයේ සහ සූරියවැව වීරියගම මහා විද්‍යලයේ සංවර්ධනය කරන ලද පහසුකම් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවන් සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ, නාවික හමුදාධිපතිගේ නාවික සහායක සහ නාවික හමුදා පාසල් සංවර්ධන ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ නිලධාරී රියර් අද්මිරාල් සුජීව සෙනවිරත්න, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු හරින්ද්‍ර ඒකනායක, නාවික අණභාර නිලධාරි හම්බන්තොට කොමදෝරු මහේෂ් ද සිල්වා, හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පීවීජී නිලානි මහත්මිය, එම විද්‍යාලයන්හි ගුරු භවතුන්, සිසු දරුවන් සහ දෙමව්පියන් සීමිත පිරිසක් මෙන්ම දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු නාවික පුද්ගලයන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.