යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය මඟින් නාවික හමුදාවට උපකරණ ප්‍රදානයක්

මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරනු ලබන පරිලෝකන යන්ත්‍ර (Portable Backscatter X-ray Machine) 04ක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත ලබා දීම යුරෝපා සංගමයේ නියෝජ්‍ය ධූත මෙහෙය ප්‍රධානී තෝර්ස්ටන් බාග්ෆ්රීඩ් (Thorsten Bargfrede - Deputy Head of Mission, EU) සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (United Nations Office on Drugs & Crime - UNODC) නියෝජිතයින් විසින් අද (2021 නොවැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

සාගර කලාපය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව මෙරට සාගර කළාපය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදු කරමින් ඒ සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදු කරනු ලබයි. තවද, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය මඟින් සාගරය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ නීතිය බලාත්මක කරනු ලබන ආයතන සඳහා සුවිශේෂී පුහුණු පාඨමාළාවන් පැවැත්වීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් යටිතල පහසුකම් සංවර්ධනය සඳහාද දායක වෙමින් ගෝලීය මත්උවදුර පිටුදැකීම සඳහා නිරන්තර දායකත්වය දක්වනු ලබයි.

ඒ අනුව, ගෝලීය මත්උවදුර පිටුදැකීම සඳහා සිදු කරනු ලබන වැඩසටහනෙහි තවත් දිගුවක් ලෙස නාවික හමුදාව මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා සිදු කරනු ලබන සුවිශේෂී කාර්යභාරය තවදුරටත් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීම සඳහා මෙම පරිලෝකන යන්ත්‍ර (Portable Backscatter X-ray Machine) යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය මඟින් අද දින (2021 නොවැම්බර් 30) නාවික හමුදාධිපති වෙත මෙලෙස භාරදීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදාව සිදු කරනු ලබන නිරන්තර මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා පහසුවෙන් රැගෙනයාහැකි මෙම පරිලෝකන යන්ත්‍ර යොදා ගැනීම මඟින් ඉදිරියේදී මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය තවදුරටත් ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ යුරෝපා සංගමයේ හා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටින ලදී.