71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්

71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 01 වන දින ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ මගපෙන්වීම යටතේ, උතුරු පළාතේ රෝහල් තුළ පවතින රුධිර සංචිත නිසි ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කෙරිණි. මෙම උතුම් සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නාවික විධානයේ නෞකා සහ ආයතනයන්ට අයත් නාවික පුද්ගලයින් 287ක පමණ පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලදී.

තවද, නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ මෙන්ම උතුරු පළාතට අයත් රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසකගේ ද දායකත්වයෙන් සිදු කෙරුණු මෙම වැඩසටහන, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි.