නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රෝහණ ලේල්වල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් රෝහණ ලේල්වල සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 දෙසැම්බර් 04) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් රෝහණ ලේල්වල වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි. අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාර පුද කර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ‍එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදී.

1987 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ 05 වන බඳවා ගැනිමේ නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් රෝහණ ලේල්වල, සිය වසර 34 කට අධික සේවා කාලය තුළ විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු වැලිසර නාවික සංකීර්ණයේ නාවික අණභාර නිලධාරී, සහකාර අධ්‍යක්‍ෂ නාවික ව්‍යාපෘති හා සැළසුම්, අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නාවික සම්බන්ධීකරණ නිලධාරී, වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා කන්කසන්තුරය වරායේ වරාය පහසුකම් ආරක්ෂක නිලධාරී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (නාවික හා ගුවන් මෙහෙයුම්) සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.