ශාස්ත්‍රීය දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් හට බ්‍රිතාන්‍ය නාවික ආයතනයෙන් සම්මාන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාස්ත්‍රීය පාඨමාළාවන්ගෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් දෙදෙ‍නෙකු වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ (The Nautical Institute) ශ්‍රී ලංකා ශාඛාව මඟින් සහතික සහ සමරුඵලක ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහ බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති කපිතාන් (වෙළඳ නැව් සේවා) නිමල් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් 2021 දෙසැම්බර් 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාස්ත්‍රීය පාඨමාළාවන්ගෙන් විශිෂ්ඨ දක්‍ෂතා දක්වන නිලධාරීන්ගේ වෘත්තීය අභිවෘද්දිය උදෙසා ඔවුන් වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව මඟින් සම්මාන සහ සමරුඵලක පිරිනැමීම 2017 වර්ෂයේදී ආරම්භ කර ඇත.

ඒ අනුව, 2019 වර්ෂයේදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති දීර්ඝ සංඥා පාඨමාළාවෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ලුතිනන් කොමාණ්ඩර් කේඑම්ඒඑස්ආර් වික්‍රමනායක සහ දියයට සංග්‍රාමික යුද උපක්‍රම දීර්ඝ පාඨමාළාවෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ලුතිනන් කොමාණ්ඩර් බීඩබ්ඩී ප්‍රියංකර යන නිලධාරීන් වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව මඟින් 2021 වර්ෂය වෙනුවෙන් සහතික හා සමරුඵලක, ප්‍රධානය කිරීම, නාවික හමුදාධිපතිගේ සහ බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති ගේ ප්‍රදානත්වයෙන් මෙලෙස 2021 දෙසැම්බර් 20 වන දින සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික කුමාර, නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික පුද්ගල හා බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ නියෝජ්‍ය සභාපති කොමදෝරු රවීන්ද්‍ර ති‍සේරා, බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව නියෝජනය කරමින් එහි වත්මන් සභාපති කපිතාන් (වෙළඳ නැව් සේවා) නිමල් පෙරේරා, නියෝජ්‍ය සභාපති කපිතාන් (වෙළඳ නැව් සේවා) නිර්මාල් සිල්වා, වත්මන් ලේකම් කපිතාන් (වෙළඳ නැව් සේවා) කීත් ජයසූරිය, නියෝජ්‍ය භාණ්ඩාගාරික කපිතාන් (වෙළඳ නැව් සේවා) රවි ජයරත්න සහ එම ආයතනයේ විධායක කමිටු සාමාජික කපිතාන් (වෙළඳ නැව් සේවා) චන්ද්‍රා සිරිමාන්න යන නිලධාරීන් සහභාගී වි සිටියහ.