නාවික හමුදා දායකත්වයෙන් නවීකරණය කළ ගාල්ල හව්පේ මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට

ගාල්ල හව්පේ මහා විද්‍යාලයේ නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයන් නවීකරණය කරන ලද පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ ගේ සහභාගීත්වයෙන් 2021 දෙසැම්බර් මස 20 වන දින සිදු කෙරිණි.

දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවස සඳහා වඩා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනු‌වෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර දායකත්වය දක්වනු ලබයි. ඒ අනුව, ගාල්ල හව්පේ මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ පරිගණක විද්‍යාව හැදෑරීම සඳහා අඩුපාඩුවක්ව පැවති පහසුකම් සහිත පරිගණක විද්‍යාගාරයක අවශ්‍යතාවය සපුරාලමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි ආචාර්ය කිශානි උඩුගම්පල මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් එම විද්‍යාලයේ සිදු කෙරුණු පරිගණක විද්‍යාගාරයේ නවීකරණ කටයුතු සඳහා දකුණු නාවික විධානය මඟින් තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී. නවීකරණය කළ එම පරිගණක විද්‍යාගාරය විවෘත කර සිසු අයිතියට පත්කිරීම දකුණු නාවික විධානයේ ආඥාපතිගේ සහ ආචාර්ය කිශානි උඩුගම්පල මහත්මියගේ සහභාගීවයෙන් 2021 දෙසැම්බර් මස 20 වන දින සිදු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා ගාල්ල හව්පේ මහා විද්‍යාලයේ විදුහල්පති අරවින්ද ඩයස් නාගහවත්ත මහතා ඇතුළු විද්‍යාලයේ ගුරු මණ්ඩලය, දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සිසුදරුවන් සහ දෙමාපියන් ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.