නාවික හමුදා කථික තරඟාවලියේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතිකපත් සහ තිළිණ ප්‍රධානය කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මගින් සංවිධානය කරනු ලැබු නාවික හමුදා කථික තරඟාවලිය - 2020 (Public Speaking Competition - 2020) සහ 2021 වර්ෂයේ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා පුද්ගලයින් වෙත සහතික පත් සහ තිළිණ ප්‍රධානය කිරීම 2021 දෙසැම්බර් මස 30 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි සිදු ‍කෙරිණි.

නාවික හමුදා පුද්ගලයින්ගේ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් මෙම කථික තරඟාවලිය ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් වශයෙන් කාණ්ඩ දෙකක් (02) යටතේ වාර්ශිකව පවත්වනු ලබන අතර, 2021 දෙසැම්බර් මස 30 වන දින පැවති අවසන් තරඟයෙන් සුවිශේසී දක්‍ෂතා පෙන්නුම් කර පළමු, දෙවන හා තෙවන ස්ථානයන් ලබාගත් නිලධාරීන් වෙත පිළිවෙලින් රුපියල් 100,000.00, 75,000.00 සහ 50,000.00 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදී නාවික හමුදාපති විසින් සිදු කෙරිණි.

ඒ අනුව, ජ්‍යේෂ්ඨ නිලධාරි අංශයේ ප්‍රථම ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඩබ්එච්පී වීරසිංහ විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් කේජීඑස්පී විජේරත්න විසින් ද, තෙවන ස්ථානය කපිතාන් එල්ඒඩීටී ශාමේන්ද්‍ර විසින් ද, සිව් වන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඒඑම්එම්එල්බී අබේකෝන් විසින්ද, පස්වන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් පීඩීපී පීරිස් විසින්ද හිමිකර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ කණිෂ්ඨ නිලධාරි අංශයේ ප්‍රථම ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඒඩීඑස් සපුකොටන විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන් ආර්ඒ සිංගලක්‍ෂණ විසින් ද, තෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් එම්ඩබ්එස්ටීකේ මැදිවක විසින් ද, සිව් වන ස්ථානය ලුතිනන් බීඑස්එස් රණවීර විසින්ද, පස්වන ස්ථානය ලුතිනන් එච්එම්වයිඑන් සේනාරත්න විසින්ද හිමිකර ගන්නා ලදී.

මෙම තරඟාවලියේ විනිශ්චය මණ්ඩලය ලෙස නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික කුමාර, අධ්‍යක්‍ෂ මෙහෙයුම් කොමදෝරු නිශාන්ත පීරීස්, ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටනැශනල් සාමාජයේ (Toastmasters Internationals) නිරෝශන් නඩරාජා මහතා සහ හින්ස්ටන් ලොවෙල් මහතා කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදා පුද්ගලයින්ගේ ශ්‍රාස්ත්‍රීය ලිවීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණෙන් 2021 වර්ෂයේ ඛාණ්ඩ තුනක් (03) යටතේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු රචනා තරඟාවලියේ පළමු, දෙවන හා තෙවන ස්ථානයන් ලබාගත් නාවික පුද්ගලයින් වෙත පිළිවෙලින් රුපියල් 100,000.00, 75,000.00 සහ 50,000.00 බැගින් මුදල් ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමද මෙහිදී නාවික හමුදාපති විසින් සිදු කෙරිණි.

ඒ අනුව, මෙම රචනා තරඟාවලියේ කොමාණ්ඩර් නිලයෙන් ඉහළ අංශයේ ප්‍රථම ස්ථානය කොමදෝරු එච්ආර්එෆ්එම් තිසේරා විසින් ද, එහි දෙවන ස්ථානය කොමාණ්ඩර් ටීඑන්ඒ රත්නායක විසින් සහ තෙවන ස්ථානය කොමාණ්ඩර් එම්ඩීඑස් හේමචන්ද්‍ර විසින් ද හිමිකර ගැනීමට සමත් වන ලදී.

මෙම තරඟාවලියේ ලුතිනන් කොමාණ්ඩර් නිලයෙන් පහළ නිලධාරී අංශයේ ප්‍රථම ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ආර්එම්සීඩී රත්නායක විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් කේඒජේආර් තිලකරත්න විසින් ද, තෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඒපී සෙනවිරත්න විසින් ද හිමිකර ගැනීමට සමත් විය.

නාවිකයන්ගේ අංශයේ ප්‍රථම ස්ථානය නායක ලිපිකරු එම්ඒඩීආර් චාමර විසින්ද, දෙවන ස්ථානය නායක විදුලි කාර්මික ආර්එම්පී බණ්ඩාර විසින් ද, තෙවන ස්ථානය කාන්තා වෛද්‍ය සහායක එල්ඒඩී නිමන්ති විසින් ද හිමිකර ගැනීමට සමත් විය.

මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, හමුදාවක දක්‍ෂ නායකයෙකු වීම සඳහා ජීවිතයත් මරණයත් අතර සටනකදී වුවද තම අභිප්‍රාය වෙත ළඟාවීමට තම කණ්ඩායම මෙහෙයවීම සඳහා අවශ්‍ය අණ නිවැරදිව හා පැහැදිළිව ලබාදීම අත්‍යාවශ්‍ය කරුණක් බවත්, නායකයාගේ සැළසුම් කෙතරම් සූක්‍ෂම වුවත් ඔහුට තම අරමුණ කරා ලඟාවීමට තම කණ්ඩායම අභිප්‍රේරණය, පුහුණුව සහ පෙළඹවීම සඳහා අවශ්‍ය අණ පැහැදිළිව සහ වෘත්තීය මට්ටමින් ලබාදීමට හැකියාවක් නොමැති වුවහොත් සැළසුම් සියල්ල ව්‍යර්ථ වන බව පැවසූ නාවික හමුදාධිපති, මෙවැනි තරඟාවලි මඟින් තම අදහස නිවැරදිව, පැහැදිළිව සහ වෘත්තීය මට්ටමින් තම කණ්ඩායම වෙත සන්නිවේදනය කළ හැකි නායකයන් අනාගත නාවික හමුදාවට ලැබෙනු ඇති බවත් පවසමින්, ජයග්‍රහණ හිමිකරගත් නාවික පුද්ගලයන් වෙත සිය සුභාශිංසන පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, කොමදෝරු එල්සී විතානගේ, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් පිරිසක් ද සහභාගි වි සිටීයහ.