නාවික හමුදාධිපතිගේ නව අවුරුදු සුභ පැතුම් පණිවිඩය

නැවුම් බලාපොරොත්තු, ප්‍රාර්ථනා සමඟින් පා තබන 2022 නව වසර නාවික, නාවික සිවිල් ඔබ සැමටත්, ඔබගේ පවුල්වල සියලුදෙනාටත් යහපත් සිතුවිලි, ප්‍රාර්ථනා ඉටුවන සුබ නව වසරක් වේවායි නාවික හමුදාධිපති වශයෙන් සුබ පැතුම් එක්කරමි.

වසරක් ගෙවී නව වසරක උදාවත් සමඟ මිනිසුන් ලෙස අධිෂ්ඨාන සහගත ගමනක් යාමට අපේක්ෂාවන් ඔබ තුල ගොඩනැගී ඇති බව මා දනිමි. එම අපේක්ෂාවන් සඳහා යන ගමනේදී හමුවන අනේකවිද බාධක මතින් සාර්ථකත්වය උදෙසා අප කෙරෙහි පළමුව ආත්මවිශ්වාසය තබාගැනීම එම ගමනෙහි සාර්ථකත්වය වේ. තමන් කෙරෙහි පවතින්නාවු නොසැලෙන ආත්මවිශ්වාසය මතින් එතෙක් මෙතෙක් ලොව දිනූ මිනිසුන්ගේ ජීවිත ගමන දුක්බර සහ කටුක එකක් බැව් ඔබ කියවා ඇත. ඔවුන්ගේ සාර්ථකත්වයද ඔබ කියවා ඇත. ඒ අනුව සියලුතැන්හි ඔබගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබ තුල ගොඩනැගෙන්නාවූ ආත්මවිශ්වාසය මත බැව් ඔබ තරයේ සිතට ගතයුතු බව මා උදාවන නව වසරේ ඔබට ප්‍රකාශකර සිටිමි.

ගෙවුන වසරේ අභිමතාර්ථයන් මුදුන්පත් කරගැනීමට ඔබ කොතෙක් දුරට සාර්ථක වූවාද යන්න පිළිබදව යම්කිසි නිගමනයකට පැමිණිය යුතුය. ස්වයංවිවේචනය තුලින් ගොඩනැගෙන ඉදිරි පියවරයන් එවිට සාර්ථක කරගැනීමේ ඉහල හැකියාවක් ඔබ තුල නිර්මාණයවනු ඇත. පෞද්ගලික ජීවිතයේ දරුවෙක්, බිරිඳක්/ ස්වාමියෙක් මෙන්ම මවක්/ පියෙක් ලෙස සහ නාවික පුද්ගලයෙක් ලෙස ඔබ කොතෙක් දුරට යුතුකම් හා වගකීම් ඉටුකලේද යන්න ඔබත් ඔබගේ යැපෙන්නන් / සමීපතමයන් තෘප්තිමත් වේද, ඔබ හට සාර්ථක පුද්ගලයකු ලෙස සතුටු විය හැක. ජීවත්වීම යනු එක් අර්ථකතනයකින් යුතුකම් හා වගකීම් ඉටුකිරීමක් ලෙස දැකීමට අප බුද්ධිමත් වන්නේනම් ජීවිතයේ සෑම පැතිකඩක් තුලම බොහෝ සාර්ථකත්වයන් ළංකරගැනීමට අප අපොහොසත් නොවනු ඇත. සිය පවුල සහ රැකියාව තුල යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටුකිරීම තුලින් මෙන්ම තමා වෙනුවෙන් වූ කාර්යයන් එනම් යහපත් කායික හා මානසික සෞඛ්‍ය මට්ටමක් පවත්වාගෙනයාම, සුදුසු කාලය තුල තමා වෙනුවෙන් වූ යෝග්‍ය තීරණයන් ගැනීම, අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා ගෙන ඇති පියවරයන් ආදීන් තුලින් තමාත් තමාගේ වටපිටාවත් යහපත් මෙන්ම සුන්දර එකක් කරගැනීම ඔබගේ හැකියාව සහ උත්සාහය තුලින්ම ගොඩනැගෙන බැව් සිහිතබාගත යුතුවේ.

ඔබ තුල ගොඩනගාගන්නා ලද කායික හා මානසික ශක්තීන් නාවික හමුදාවේ මතු උන්නතිය උදෙසා යෙදවීමට කටයුතු කරන ලෙස මා ඔබගෙන් ඉල්ලාසිටින අතර, එකිනෙකා තුල පවත්නා වූ සුවිශේෂී දක්ෂතාවයන් සහ චින්තන ශක්තීන් මත නිර්මාණය කලහැකි සහ ලොවට හදුන්වාදිය හැකි නව නිපැයුම් තුලින් ලෝකය දිනන්නට මෙන්ම ඔබ තුල පවතින්නාවූ අනේකවිද හැකියාවන් උපයෝගීකර ගනිමින් නාවික හමුදාව ජයග්‍රාහී මාවතකට යොමු කිරීම ඔබ සතු වගකීමක් බව මා සිහිපත් කරමි.

"අදිටනින් ජයමග කරා" නොසැලෙන ආත්මවිශ්වාසයෙන්, ආත්මශක්තියෙන් සහ නොපසුබස්නා අධිෂ්ඨානයෙන් ඔබගේ ගමන ආරම්භකර සාර්ථක අවසානයක ජයග්‍රහණය භුක්තිවිඳින ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිමි.