ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව උදා වූ 2022 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 ජනවාරි 03) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

ඒ අනුව, දේශය වෙනුවෙන් දිවි කැප කළ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි 02 ක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව නව වසර සඳහා රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගී වූ නාවික හමුදා පුද්ගලයින් ඇමතූ නාවික හමුදාධිපති, ලැබුවා වූ 2022 නව වසර සියළුම නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට සහ නාවික සිවිල් සේවක මහත්ම මහත්මීන් හට නව වසරට සුභාශිංසන පිරිනමන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලොවටම කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ අභියෝගාත්මක වසරක් වූ 2021 වර්ෂයේදී, වසංගත තත්වය හමුවේ වුවද නෞකා සහ යාත්‍රා තම රාජකාරිය උපරිම මට්ටමින් සිදුකිරීම සමබන්ධයෙන් නෞකා බලඇණියට සිය කෘතඥතාවය පල කරන බවත්, පෙර වසරේදී මෙන්ම නව වසරේදීද නෞකා බළඇණිය තම රාජකාරිය උපරිම මට්ටමින් සිදු කිරීම නාවික හමුදා‍ව අපේක්‍ෂා කරන බවත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් උපරිම මට්ටමින් සැලසිමට අවශ්‍ය පියවර ගන්නා බවත් පවසන ලදී.

තවද, නාවික හමුදාවේ අංශ ක්‍රමය විධිමත් ලෙස පවත්වා ගනිමින් කණිෂ්ඨ නිලධාරීන් සහ කණිෂ්ඨ නාවිකයන් නිසි මඟට යොමු කිරීම, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ නාවිකයින්ගේ වගකීම බව පැවසූ නාවික හමුදාධිපති, මේ සඳහා ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ උපරිම සහයෝගය අවශ්‍ය බව අවධාරණය කරන ලදී. එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව නාවික රාජකාරීන්ට අමතරව දේශය ගොඩනැගීමේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කරනු ලබන කාර්යභාරය උපරිම මට්ටමින් නව වසරේදීද සිදු කිරීම සියළුම නාවික පුද්ගලයන්ගෙන් අපේක්‍ෂා කරන බවත් නාවික හමුදාධිපති විසින් වැඩි දුරටත් අවධාරණය කරන ලදී.

වර්ථමානයේ රට මුහුණදී ඇති කොවිඩ් 19 සෞඛ්‍ය ගැටළුව හමුවේ වගකීමෙන් රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදා ජ්‍යේෂ්ඨ උපදේශක, සෞඛ්‍ය හා පෝෂණ, බෝ නොවන රෝග නිවාරණ (කොවිඩ් 19 ඇතුළුව) රියර් අද්මිරාල් (වෛද්‍ය) ජීඑස්ආර් ජයවර්ධන, රජයේ දැක්ම සාක්ශාත් කර ගැනීම සඳහා පෙර වර්ෂයේදී මෙන්ම 2022 වර්ෂයේ ද සියළුම නාවික පුද්ගලයන් පවත්නා සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේදයන්ට අනුකූලව තවදුරටත් තම රාජකාරීන් ඉටුකිරීම අත්‍යාවශ්‍ය බවත් අවධාරණය කරන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලද 2022 වර්ෂයේ රාජ්‍ය ප්‍රතිඥාව ලබා දීමේ මෙම අවස්ථා‍ව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්‍වරුන්, ධජ නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ ‍නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක් සහභාගි වී සිටියහ. එමෙන්ම මීට සමගාමීව සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි නාවික හමුදා සාමාජිකයින් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම විධාන ආඥාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නාවික හමුදා මූලස්ථානයේ වැඩසටහන

බටහිර නාවික විධාන වැඩසටහන

නැගෙනහිර නාවික විධාන වැඩසටහන

උතුරු නාවික විධානය වැඩසටහන

උතුරු මැද නාවික විධාන වැඩසටහන

වයඹ නාවික විධාන වැඩසටහන

දකුණු නාවික විධාන වැඩසටහන

ගිණිකොන නාවික විධාන වැඩසටහන           

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ වැඩසටහන