නාවික හමුදාව ‘P – 601’ නෞකාව ශ්‍රි ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාරදෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අනුයුක්තව දශක හතරකට ආසන්න කාලයක් සමුද්‍රීය ආවේක්‍ෂණ නෞකාවක් ලෙස අනභිභවනීය සේවයක් ඉටු කර 2021 සැප්තැම්බර් මස 30 වන දින නාවික හමුදා සේවයට සමුදුන් ශ්‍රීලංනානෞ ජයසාගර (P 601) නෞකාව, ශ්‍රි ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාරදීම 2022 ජනවාරි මස 03 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.

ඒ අනුව, 2021 සැප්තැම්බර් මස 30 වන දින නාවික හමුදා සේවයට සමුදුන් ශ්‍රීලංනානෞ ජයසාගර (P 601) නෞකාව දකුණු නාවික විධානයේදී වාර්ෂික දිය යට නඩත්තු කටයුතු සහ අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් පසු දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක වෙත නිල වශයෙන් භාරදීම මෙලෙස 2022 ජනවාරි මස 03 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ CG 61 නමින් නම් කර ඇති මෙම නෞකාව ඉදිරියේදී වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතව ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කෙරුණු මෙම අවස්ථාව සඳහා නාවික දියත් විධානයේ ධජ නිලධාරි රියර් අද්මිරාල් සජිත් ගමගේ, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.