ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේ 26 වන සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක්

2022 ජනවාරි මස 01 වන දිනට යෙදී තිබූ ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේ 26 වන සංවත්සරය නිමිත්තෙන්, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක්, 2022 ‍ජනවාරි මස 04 සහ 05 යන දිනයන්හි ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේදී පැවැත්විණි.

මෙම සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව සඳහා අනුරාධපුර ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍පණ්ඩුලගම,ශ්‍රී සම්බුද්ධ මහා විහාරයේ සිට ශ්‍රිලංනානෞ තම්මැන්නා ආයතනය වෙත සධාතුක කරඬුව වැඩමකරවීම උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න විසින් සිදු කරන ලද අතර, පණ්ඩුලගම ඓතිහාසික ශ්‍රී සම්බුද්ධ මහා විහාරයේ විහාරාධිපති ඇතුළු මහා සංඝරත්නය විසින් සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව සිදු කරන ලදී.

තවද, 2022 ජනවාරි 04 වන දින ගරුතර මහා සංඝරත්නය 21 නමක් උදෙසා දානය සහ පිරිකර පූජාකිරීමේ පිංකමක් සිදුකරන ලද අතර, එහිදී ගරුතර මහා සංඝරත්නය විසින් නාවික හමුදාධිපති ඇතුළු දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හට මෙන්ම සමස්ථ නාවික හමුදාවටද ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම පිංකම සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න, එම විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු එල්එන් හේවාවිතාරණ, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් ජේඑම්ජිබි ජයකොඩි, විධානයේ අනෙකුත් ආයතනයන්හි අණදෙන නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගීවී සිටියහ.