කොවිඩ් 19 එන්නත්කරණය සඳහා නාවික හමුදාව වෙතින් අද සිට නව එන්නත්කරණ මධ්‍යස්ථාන 02ක්

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව මඟින් සිදු කෙරෙන මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් කොළඹ ඛෙත්තාරාම මහා විහාරස්ථාන පරිශ්‍රයේදී සහ වැලිසර නවලෝක ක්‍රීඩාංගන පරිශ්‍රයේදී නාවික හමුදා වෛද්‍ය හා හෙද කාර්යමණ්ඩල මඟින් මහජනතාව වෙත එන්නත් ලබා දීම අද (2022 ජනවාරි 14) උදෑසන සිට ආරම්භ කෙරිණි.

ඒ අනුව, කොළඹ ඛෙත්තාරාම මහා විහාරස්ථාන පරිශ්‍රයේදී සිදු කරනු ලබන එන්නත්කරණ මධ්‍යස්ථානය මඟින් කොවිඩ් 19 සඳහා වන ඕනෑම එන්නතක පළමු සහ දෙවන එන්නත් මාත්‍රාවන් ද්විත්වයම සම්පූර්ණ කරන ලද පුද්ගලයින් හට බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස “ෆයිසර්” (Pfizer) එන්නත ලබා දීමත්, වයස අවුරුදු 16ත් 20 අතර වයස් වල පසුවන්නන් හට “ෆයිසර්” (Pfizer) එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම සහ වයස අවුරුදු 18 ත් 20ත් අතර වයසේ පසුවන “ෆයිසර්” (Pfizer) එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සඳහා එම එනනතේ දෙවන මාත්‍රාව ලබාදීම ද සිදු කරනු ලබයි.

තවද, වැලිසර නවලෝක ක්‍රීඩාංගන පරිශ්‍රයේ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථානය මඟින් කොවිඩ් 19 සඳහා වන ඕනෑම එන්නතක පළමු සහ දෙවන එන්නත් මාත්‍රා ද්විත්වයම සම්පූර්ණ කරන ලද පුද්ගලයින් හට බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස “ෆයිසර්” (Pfizer) එන්නත ලබා දීමත් වයස අවුරුදු 12ත් 20 අතර වයස් වල පසුවන්නන් හට “ෆයිසර්” (Pfizer) එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම මෙන්ම වයස 18 ත් 20ත් අතර වයසේ පසුවන “ෆයිසර්” (Pfizer) එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සඳහා එම එනනතේ දෙවන මාත්‍රාව ලබාදීම ද සිදු කරනු ලබයි. තවද, අවුරුදු 20 ට වැඩි පුද්ගලයින්හට සයිනෝෆාම් එන්නතෙහි පළමු සහ දෙවන මාත්‍රාවන් ලබා දීමත් එම එන්නත්කරණ මාධ්‍යස්ථානයේදී සිදු කරනු ලබයි.

ඒ අනුව, කොව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන යටතේ අද (2022 ජනවාරි 14) දින සිට ඉදිරි දින කිහිපය තුළ කොළඹ ඛෙත්තාරාම මහා විහාරස්ථාන පරිශ්‍රයේදී උදෑසන 08.00 සිට පස්වරු 03.00 දක්වාත්, වැලිසර නවලෝක ක්‍රීඩාංගන පරිශ්‍රයේදී උදෑසන 09.00 සිට පස්වරු 03.00 දක්වාත් මහජනතාව හට මෙම එන්නත් ලබා ගැනීමේ හැකිව පවතී.

තවද, මහජනතාව එන්නත්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙල සඳහා ඉදිරියටත් අවශ්‍ය සහය ලබාදීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.