Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදෙස් ජාතික රෝගියෙකු සදහා නාවික හමුදාව විසින් ප්‍රතිකාර කෙරේ

නාවික හමුදාව විසින් Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදේශීය ජාතිකයෙකු හට ත්‍රිකුණාමලය, කිමිදුම් හා ගැලවීමේ ඒකකය මඟින් ලබා දුන් සාර්ථක ප්‍රතිකාරයන්ගෙන් පසුව එම රෝගියා සුවය ලබා 2022 ජනවාරි මස 13 වන දින පිටව යන ලදි.

ගාල්ල උණවටුන මුහුදු තීරයේ, කිමිදුම් කටයුතුවල නිරතවීමෙන් පසු Decompression Sickness නැමති රෝගී තත්වයට ලක්වූ වයස අවුරුදු 39ක් වන මෙක්සිකානු ජාතික සංචාරක කිමිදුම් කරුවෙකු පසුගිය 2022 ජනවාරි මස 13 වන දින ත්‍රිකුණාමලය නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කරන ලදී. පසුව එම රෝගියා නැගෙනහිර නාවික විධානයෙහි කිමිදුම් වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර සඳහා නැගෙනහිර නාවික විධනයේ, කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත නැවත සම්පීඩන කුටීරය වෙත යොමුකරන ලද අතර, පැය 05 කට ආසන්න කාලයක් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නැවත සම්පීඩන කුටීරය තුළ අවශ්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසු එම රෝගියා සුවය ලබා මෙලෙස පිටව යන ලදි.

තවද, 2021 ජනවාරි මාසයේ සිට මේ දක්වා නැගෙනහිර නාවික විධාන කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත සම්පීඩන කුටීරය තුළ Decompression Sickness නැමති රෝගි තත්වයෙන් පීඩා විඳි පුද්ගලයින් තිදෙනෙකු (03) වෙත සාර්ථකව ප්‍රතිකාර ලබා දිමට කටයුතු කර ඇත.