ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කළ නාවික අභ්‍යාසයන්ගෙන් අනතුරුව ජර්මානු සහ ජපාන යුද නෞකා දිවයිනෙන් පිටත් වේ

නිළ සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 15 ‍වන දින කොළඹ වරායට සේන්දු වූ ජර්මානු නාවික හමුදාවට අයත් Frigate FFGH (123 Class) වර්ගයේ ‘BAYERN’ නෞකාව සහ ජනවාරි 16 දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, ‘URAGA’ හා ‘HIRADO’ යන නෞකා සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව බටහිර සහ නැගෙනහිර මුහුදේ පැවති නාවික අභ්‍යාසයන්ගෙන් අනතුරුව 2022 ජනවාරි 18 වන දින එම නෞකා දිවයිනෙන් පිටත්ව යන ලදී.

ජර්මානු නාවික හමුදාවට අයත් ‘BAYERN’ නෞකාවේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් (ජ්‍යේෂ්ඨ ශ්‍රේණිය) කල්ස්කි ටිලෝ (Commander (Senior Grade) KALSKI Tilo) සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල්ද සිල්වා අතර නිළ හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී 2022 ජනවාරි මස 17 වන දින සිදු කෙරුණු අතර, ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයේ අණදෙන නිලධාරී කපිතාන් NOGUCHI Yasushi සහ ‘URAGA’ හා ‘HIRADO’ යුද නෞකා ද්විත්වයෙහි අණදෙන නිලධාරීන් සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් අතර නිළ හමුවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ 2022 ජනවාරි මස 17 වන දින පැවැත්විණි.

මෙම නෞකාවන්ගේ නැව් මුළු දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ විවිධ වැඩසටහන් සඳහා ද සහභාගී වු අතර, එහිදී නව දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද ශ්‍රී ලංකා නාවික හමුදාවට අවස්ථාවක් උදාවිය.

තවද, ජර්මානු නාවික හමුදාවට අයත් ‘BAYERN’ යුද නෞකාව අද (2022 ජනවාරි 18) දින ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සමග බටහිර මුහුදු කළාපයේදීත්, ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ‘URAGA’, සහ ‘HIRADO’ නෞකා ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව සමග නැගෙනහිර මුහුදු කළාපයේ දීත් ඒකාබද්ධ නාවික අභ්‍යාසයන්හි නිරත විය. එහිදී උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාසය (DIVTACS), නෞකා අතර දුර පවත්වාගෙන යාම (Station Keeping) ඇතුළු නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කිරිමෙන් අනතුරුව මෙලෙස දිවයිනෙන් පිටත්ව යන ලදී.

සාර්ථක නිල සංචාරය නිමා කරමින් අද (2022 ජනවාරි 18) දින දිවයිනෙන් පිටත් වූ ජර්මානු නාවික හමුදාවට අයත් ‘BAYERN’ යුද නෞකාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, ‘URAGA’, සහ ‘HIRADO’ නෞකා වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව මෙහිදී සමුදීම සිදු කෙරිණි.