ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික අංශ පිරික්සුම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 ජනවාරි 20) වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේදී පැවැත්විණි.

ස්වේච්ඡා නාවික හමුදාවට අයත් නාවික පුද්ගලයන්ගේ වෘත්තීමය හැකියාවන් සහ දැනුම වර්ධනය කිරීම උදෙසා පසුගිය ජනවාරි 02 වන දින ආරම්භ කෙරුණු මෙම පුහුණු කඳවුර නාවික හමුදාධිපති ගේ අංශ පිරික්ෂුම සහ ආචාර පෙළපාලියකින් පසුව පැවති විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින් අනතුරුව නිමාවට පත්විය.

මෙහිදී අදහස් දැක් වූ නාවික හමුදාධිපති, 1952 ජනවාරි මස 09 වන දින නිලධාරින් 24 ක් හා නාවිකයින් 121 දෙනෙකුගෙන් යුක්තව ආරම්භ වූ ස්වේච්ඡා නාවික හමුදාව, ජාතික ආරක්‍ෂාව හා සංවර්ධන අවශ්‍යතාවයන්ට සමගාමීව මේ වන විට ජාතික මෙන්ම හදිසි අවස්ථාවන්හි දී සහ ව්‍යසනයන්හිදී විශේෂඥ දැනුම හා පිරිස් බලය ලබා දීමට නිරන්තරයෙන් සූදානම්ව සිටින බල හමුදාවක් බවට පත්වී ඇති බව පවසන ලදී. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ නාවික හමුදාධිපති ස්වේච්ඡා නාවික හමුදාව ආරම්භයේ සිට මේ දක්වා පැමිණි දිගු ගමන් ම‍ඟේ, මාතෘ භූමි‍යේ ඒකීයභාවය සහ උත්තරීතර නිදහස වෙනුවෙන් නාවික හමුදාව සිදු කළ යුග මෙහෙවර හමුවේ දිවි පිදු අතුරුදහන් වූ හා අබාධිත තත්වයට පත් වූ සියළුම ස්වේච්ඡා නාවික හමුදා පුද්ගලයින් ගෞරවයෙන් සිහිපත් කර, ඔවුන්ගේ පවුල් වල සමීපතමයින්ට ද ප්‍රණාමය පුද කරන ලදී.

නාවික හමුදාව වෙත පැවරී ඇති අභියෝගාත්මක සංවර්ධන කාර්යභාරය ඉටු කිරීම සඳහා නිත්‍ය නාවික හමුදාව සමඟ එක්ව ස්වේච්ඡා නාවික හමුදාව ලබා දෙන සක්‍රීය දායකත්වය ඇගයීමට ලක් කළ නාවික හමුදාධිපති කොවිඩ් 19 වසංගත තත්වය පාලනය සඳහා දක්වන දායකත්වය ද මෙහිදී අගය කරන ලදී. එමෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ ලබා ගනිමින් නාවික හමුදාවට මෙන්ම රටට ද කීර්තියක් අත්කර දීමට ස්වේච්ඡා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩීකාවන් සමත්ව ඇති බව සිහිපත් කළ නාවික හමුදාධිපති, සිවිල් ජන සමාජ අත්දැකීම් හා හර පද්ධතීන් වලින් ලද පන්නරය නාවික හමුදා කාර්යභාරය ඉටු කිරීමේදී භාවිතා කිරීමටත්, නාවික හමුදා ආචාරධර්ම හා සම්ප්‍රදායන්හි අනන්‍යතාවට අදාල ප්‍රයෝගික පුහුණුව හා අවබෝධය වැඩි දියුණු කර ගැනීමටත්, ඒ තුලින් විනය ගරුක හා කාර්යක්‍ෂම නාවික පුද්ගලයෙකු බිහි කිරීමට මෙම වාර්ෂික පුහුණු කඳවුර මහඟු පිටිවහලක් වන බවත්, පවසන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන්, ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරි, නාවික හමුදා මුලස්ථානයට සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.