ආරක්‍ෂක ලේකම් සමඟ නාවික හමුදාධිපති අනුරාධපුරය සහ මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සමඟ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2022 ජනවාරි මස 23 වන දින අනුරාධපුරය සහ මිහින්තලා පුද බිමේ ත්‍රිවිධ හමුදා දායකත්වයෙන් සිදු කෙරෙන ඉදිකිරීම් ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීම සඳහා සහභාගී විය.

ඒ අනුව, මෙම නිරික්‍ෂණ චාරිකාවාරයේදී, අනුරාධපුර පූජා භූමියේ ඉදිකරන ලද සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකෙරෙන රථ ගාල සහ භූමි අලංකරණ කටයුතු ද, මිහින්තලය පුද බිමේ සිදු කෙරෙන ඉදිකිරීම් සහ මිහිඳු මහා සෑ ධර්ම ශාලාවේ නාවික හමුදා දායකත්වයෙන් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු ද ආරක්‍ෂක ලේකම් සහ නාවික හමුදාධිපති විසින් මෙහිදී නිරික්‍ෂණය කරන ලදී.

තවද, එම ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සම්පුර්ණ කිරීමට මෙහිදී ආරක්‍ෂක ලේකම් විසින් අදාල පාර්ශව වෙත උපදෙස් ලබා දීමට ද එහිදී කටයුතු කෙරිණි.

එමෙන්ම මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාව සඳහා මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි ඇතුළු ගරුතර මහාසංඝරත්නයද වැඩමකර සිටින ලද අතර, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රංජන් ළමාහේවගේ, නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කොමදෝරු එම්ජේආර්ආර් මැද්දේගොඩ ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වි සිටියහ.