ප්‍රධාන අළුත්වැඩියාවෙන් පසු පී 494 වේග ප්‍රහාරක යාත්‍රාව දියත් කිරීම ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයෙදී

නැගෙනහිර නාවික විධාන ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් ප්‍රධාන අළුත්වැඩියාව (Major refit) සිදුකරන ලද පී 494 වේග ප්‍රහාරක යාත්‍රාව දියත් කිරීමේ උත්සවය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්ගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 21 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයෙදී සිදු කෙරිණි.

කොළඹ නැව් තටාකාංගනයේදී 1997 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති පී 494 වසර 22ක පමණ කාලයක් අඛණ්ඩව නාවික හමුදාවේ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයට අනුයුක්තව සේවය කරන ලද අතර, එහි මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත, නැගෙනහිර නාවික විධානයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් පී 494 යාත්‍රාවේ ප්‍රධාන අළුත්වැඩියාව 2019 ඔක්තෝබර් මස ආරම්භ කර 2022 ජනවාරී මස සාර්ථකව අවසන් කෙරිණි. මෙම ප්‍රධාන අලුත්වැඩියාවේදී යාත්‍රාවේ ඇතුලත සහ පිටත බඳ කොටස්, ප්‍රධාන යන්ත්‍ර, ජෙනරේටර් යන්ත්‍ර, සහ ගියර් පද්දතිය නව මෙහෙයුම් පාලන පද්ධතියක් සමඟින් අලුත්වැඩියා කිරීම සිදුකෙරිණි. තවද, පී 494 යාත්‍රාවේ ප්‍රධාන අලුත්වැඩියා ව්‍යාපෘතිය 2022 ජනවාරි මාසයේදී සාර්ථකව සම්පූර්ණ කිරීම සඳහා නැගෙනහිර නාවික විධාන මැරීන් ඉංජිනේරු, නැව්බඳ ඉංජිනේරු සහ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු යන දෙපාර්තමේන්තු සාමූහිකව දායකත්වය ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා කොමදෝරු අධිකාරී තටාකාංගනය, කොමදෝරු වසන්ත කඳවින්න, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු, හතරවන වේග ප්‍රහාරක බලඝණයේ අණදෙන නිලධාරී කොමදෝරු රාජප්‍රිය සේරසිංහ ඇතුළු නැගෙනහිර නාවික විධානයට අයත් නාවික පුද්ගලයන් පිරිසක් සහභාගීවී සිටියහ.