නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 ජනවාරි 27) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ වෙත උපන් දින සුභපැතුම් එක් කරන ලදී. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාර පුද ‍කිරීමෙන් අනතුරුව සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ‍එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදී.

1987 වර්ෂයේදී 17 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ, තම සේවා කාලය තුළ විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇති අතර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික බුද්ධි, ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා කන්කසන්තුරය වරායේ වරාය පහසුකම් ආරක්ෂක නිලධාරී, ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික පරිපාලන මෙන්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන සහ දකුණු නාවික විධානයේ ආඥාපති ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.