මාතෘ භූමියට ආශිර්වාද පතා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජය පිරිත සඡ්ඣායනය කරයි

මාතෘ භූමියට, සියළුම රට වැසියන්ට, මියගිය හා ආබාධිත තත්වයට පත් රණවිරුවන් හට සහ පවත්නා වසංගත තත්ත්වයෙන් රට මුදා ගැනීමට ආශිර්වාද පතා මහා සංඝරත්නය විසින් 2022 ජනවාරි 26 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ජය පිරිත් සජ්ඣායනාව පවත්වන ලද අතර, එම පුණ්‍ය මහෝත්සවය අද (2022 ජනවාරි 27) උදෑසන මහා සංඝරත්නය උදෙසා පිරිනමන ලද දානමය පුණ්‍ය කර්මයෙන් අනතුරුව නිමාවට පත්විය.

ගරුතර ස්වාමීන් වහන්සේ දහස් නමක් (1000) විසින් පවත්වන ලද මෙම ජය පිරිත් සජ්ඣායනාව, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව, 2008 වර්ෂයේ සිට වාර්ෂිකව සිදුකෙරෙන අතර, එතුමාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ මඟපෙන්වීම යටතේ ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන්, ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම පුණ්‍ය කටයුත්ත සංවිධානය කෙරිණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය ගේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා රජයේ මැති ඇමැතීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශන්ට අනුකූලව සහභාගී වී සිටින ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මිය, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී චන්දිමා උළුගේතැන්න මහත්මිය සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී චාමිණී පතිරණ මහත්මිය ඇතුළු ත්‍රිවිධ හමුදා සේවා වනිතා සාමාජිකාවන් සහභාගී වී සිටියහ.

ඒ අනුව, අද (2022 ජනවාරි 27) උදෑසන මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමුණු හීල් දානමය පුණ්‍ය කර්මයෙන් අනතුරුව 2022 ජනවාරි 26 වන දින ආරම්භ කෙරුණු මෙම පුණ්‍ය මහෝත්සවය නිමාවට පත්විය.