නාවික හමුදා නිල වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස සම්මානයට පාත්‍ර වෙයි

පසුගිය 2021 වර්ෂයේ පැවති ‘Best Web 2021’ තරඟාවලියේ සම්මාන ප්‍රදානය, 2022 ජනවාරි මස 26 වන දින LK Domain Registry ආයතනයේදී පැවැත්වුණු අතර, එම තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙසත්, රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ තුන්වන ස්ථානය ලෙසත් තේරී පත්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘www.navy.lk’ නිල වෙබ් අඩවියට ප්‍රධානය කළ සම්මාන, නාවික හමුදාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත භාරදීම 2022 පෙබරවාරි මස 08 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

LK Domain Registry ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවිය තේරීමේ ‘Best Web 2021’ තරඟාවලියේ දී, වෙබ් අඩවියේ සම්පූර්ණත්වය, පිවිසීමේ සහ සෙවීමේ පහසුව, සම්මතයන් හා ක්‍රියාකාරිත්වය, වෙබ් අඩවිය භාවිතා කරන්නාට ඇති පහසුව මෙන්ම වෙබ් අඩවියේ අන්තර්ගතයෙහි ප්‍රමාණාත්මක හා ගුණාත්මකභාවය, ආරක්‍ෂිත භාවය සහ ප්‍රකාශණ හිමිකම උල්ලංඝණය නොවීම වැනි නිර්ණායකයන් සැලකිල්ලට භාජනය කෙරිණි.

ඉහත නිර්ණායකයන් පදනම් කරගනිමින් පැවති ‘Best Web 2021’ තරඟාවලියේ දී රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙසත්, රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ තුන්වන ස්ථානය ලෙසත් නාවික හමුදා නිල වෙබ් අඩවිය තේරී පත්වූ අතර, හොඳම ජංගම ප්‍රශස්තිකරණ වෙබ් අඩවිය සහ හොඳම සිංහල වෙබ් අඩවිය ලෙස කුසලතා සම්මානයන් හිමිකර ගැනීමට ද එහිදී නාවික හමුදා වෙබ් අඩවිය සමත් විය. ඒ අනුව, ‘Best Web 2021’ තරඟාවලියේ දී නාවික හමුදාවට හිමි වූ සම්මාන, නාවික හමුදාධිපති වෙත භාරදීම මෙලෙස 2022 පෙබරවාරි මස 08 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

එමෙන්ම, 2015, 2017, 2018 සහ 2019 වර්ෂයන්හිදී පැවැත්වූ ‘Best Web’ තරඟාවලීන්හිදී ද රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙසත්, 2018 සහ 2019 වර්ෂයන්හිදී රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙසත් මීට පෙර ද ජයග්‍රහණ හිමිකර ගැනීමට ‘www.navy.lk’ ‍වෙබ් අඩවිය සමත් වී ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික තොරතුරු තාක්‍ෂණ, කපිතාන් සීවී රණවීර ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.