කොළඹ නාවික අභ්‍යාසය 2022 (CONEX – 22) සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන්ගේ වෘත්තීය නිපුනත්වය හා ප්‍රායෝගික කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණෙන් සිව්වන වරටත් පවත්වනු ලැබූ කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Exercise - 2022 – CONEX - 22) 2022 පෙබරවාරි 14 වන දින සාර්ථකව නිමාවට පත් විය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟ පෙන්වීම යටතේ පැවති කොළඹ නාවික අභ්‍යාසය - 2022 (CONEX - 22) හි සාමාරම්භක උළෙල 2022 පෙබරවාරි මස 12 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර, එම අභ්‍යාසයේ මුහුදු අධියර (Sea Phase) 2022 පෙබරවාරි මස 13 සහ 14 යන දෙදින තුළ කොළඹට නුදුරු මුහුදේදී පැවැත්විණි.

මෙවර පැවති CONEX - 22 නාවික අභ්‍යාසයේදී ක්‍රියාන්විත අවස්ථාවක නෞකා මෙහෙයවීම, නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරු කිරීම, නෞකා සංග්‍රාමික පෙල හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා වෙත ප්‍රවිෂ්ටවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ (VBSS) ක්‍රමොපායන් පිළිබඳ අභ්‍යාස, මුහුද මතුපිට සහ ගුවන් ඉලක්ක සඳහා දිවා හා රාත්‍රී වෙඩි තැබීමේ අභ්‍යාස, නෞකා අතර පණිවිඩ හුවමාරු කිරීමේ අභ්‍යාස ඇතුළු තවත් නාවික අභ්‍යාස රැසක් සිදු කරන ලදී. තවද, මෙම නාවික අභ්‍යාසයේ අවසන් දින අධීක්‍ෂණය සඳහා සහභාගී වූ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වෙත අභ්‍යාසයට සහභාගී වූ නෞකා සහ යාත්‍රා පෙළ මගින් ආචාරය පිරිනැමීමෙන් (Steam Past) අනතුරුව කොළඹ නාවික අභ්‍යාසය - 2022 සාර්ථකව නිමාවට පත්විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය ඉතා කාර්යක්‍ෂමව ඉටු කරමින් ශ්‍රී ලංකාවට අයත් සාගරික කලාපයේ සුරක්‍ෂිතතාව තහවුරු කිරීම සඳහා නිරන්තරව ඇපකැප වී සිටියි. ඒ සඳහා මනා පුහුණුවකින් හා ප්‍රායෝගික අත්දැකිම් වලින් හෙබි නැව් මුළුවක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර, මෙවැනි නාවික අභ්‍යාසයන්ගෙන් වැඩිදියුණු වන දැනුම, කුසලතා සහ අත්දැකීම් ගැඹුරු මුහුදේ සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය වැටලීම් මෙහෙයුම් ඇතුළු නීතිය බලාත්මක කිරීමේ මෙහෙයුම් කාර්යක්‍ෂමව සහ ඵලදායී ලෙස සිදුකිරීම සඳහා මහත් පිටිවහලක් ගෙන දෙනු ඇත. එමෙන්ම, ජාත්‍යන්තර නාවික අභ්‍යාසයකට අනුරූපීව පවත්වන ලද මෙම නාවික අභ්‍යාසය මඟින් කළාපීය පොදු සාගරික අභියෝග සාමූහිකව ජයගනිමින් සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන්ගේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීම නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.

තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කොළඹ නාවික අභ්‍යාසය - 2022 (Colombo Naval Exercise – 2022 – CONEX 22) හි සැළසුම් කළ අදියරයන් නාවික දියත් විධානයේ මෙහෙයවීමෙන් ඉතා සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් මෙහිදී කටයුතු කෙරිණි.