ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් දින මාර්ග ධාවනය - 2022 කොළඹදී පැවැත්වේ

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports-CISM ) දින සැමරුම් මාර්ග ධාවනය - 2022, ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (2022 පෙබරවාරි 20) කොළඹදී සාර්ථකව නිමාවට පත් විය.

‘ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය’ යන ආදර්ශපාඨය අරමුණු කරගනිමින්, 1948 වර්ෂයේ පෙබරවාරි 18 වන දින ප්‍රංශයේදී ආරම්භ වූ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) ලොව විශාලතම බහුවිධ සංවිධානයක් වන අතර, සාමාජික රටවල් 140 ක සන්නද්ධ හමුදාවන් සඳහා විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරන, ලොව විශාලතම ක්‍රීඩා ඉසව් සංඛ්‍යාවක් නියෝජනය කරන ගෝලීය ක්‍රීඩා සංවිධානයකි.

මෙවර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංවිධායකත්වයෙන් පවත්වන ලද ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය, කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වී කිලෝ මීටර 04ක පමණ දුරක් ආවරණය කරමින් ගුවන් හමුදා මුලස්ථානය අසලින් නිමාවට පත් විය. මෙම මාර්ග ධාවනය සඳහා සහභාගි වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත එහිදී සහතිකපත්‍ර ප්‍රදානය කිරීම ද ආරක්‍ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාධිපති වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම මාර්ග ධාවනය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල්ද සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් මෙන්ම, ආබාධිත රණවිරුවන් පිරිසක් ද සහභාගි වී සිටියහ.