මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව අවසන් කළ නාවික පුද්ගලයින්හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඇණියේ හත්වන (07) බඳවා ගැනීමට අයත් නිලධාරීන් සිව් දෙනෙකු (04) සහ නාවිකයින් විසි දෙදෙනෙකු (22) හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න‍ මහත්මියගේ සාභාගීත්වයෙන් 2022 මාර්තු මස 04 වන දින ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ දී සිදු කෙරිණි.

සාමාජිකයින් 164 දෙනෙකුගෙන් සමන්විතව 2016 වර්ෂයේ දී ප්‍රථම වරට ස්ථාපිත වූ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඇණිය මේ වන විට මෙම බඳවා ගැනීම ද ඇතුළුව, බඳවා ගැනීම් 7 ක් යටතේ නිලධාරින් සහ මැරීන් භටයන් 632 දෙනෙකුගෙන් සමන්විත බල ඇණියක් ලෙස ක්‍රමයෙන් වර්ධනය වී ඇත.

ඒ අනුව, මාස නවයක් (09) පුරා පැවැත්වනු ලබන අති දුෂ්කර වූ මැරීන් පුහුණුව සඳහා ස්ව කැමැත්තෙන් අනුයුක්ත වූ නාවික පුද්ගලයින් 33 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමකින් ආරම්භ කළ හත්වන (07) වන බඳවා ගැනීමේ පුහුණු පාඨමාළාව, සාර්ථකව අවසන් කිරීමට සමත් වූ නාවික පුද්ගලයින් 26 ‍දෙනෙකු වෙත අභිමානවත් මැරීන් බලඇණි ලාංඡන පැළඳවීම මෙලෙස නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි. තවද, පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්‍රදානය කිරීම ද මෙහිදී නාවික හමුදධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඒ අනුව, හත්වන මැරීන් බලඇණි බඳවා ගැනීමේ පාඨමාළාවේ විශිෂ්ඨතම මැරීන් සාමාජිකයා සහ සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් සාමාජිකයා වශයෙන් ලුතිනන් පිඑච්එච් ජයතුංග, දක්‍ෂතම ඉලක්කකරු වශයෙන් බල නැවි ඩබ්ජිඒ ජිවංක, දක්ෂතම පිහිණුම්කරු ලෙස බල නැවි ඊඑම්එම්ඩි විජේබණ්ඩාර සහ දක්‍ෂතම ශාරීරික යෝග්‍යතාවය හිමි සාමාජිකයා වශයෙන් සාමාන්‍ය නැවි එච්එම්ආර්එම් හේරත් කුසලාන හිමිකර ගන්නා ලදී. එමෙන්ම මෙම ලාංඡන පැළඳවීමේ අවස්ථාව, නාවික හමුදා මැරීන් බලඇණියේ හැකියාවන් සහ දක්ෂතාවයන් විදහා දැක්වෙන ආකර්ශනීය සංදර්ශනයකින් ද සමන්විත විය.

මෙහිදී, සාර්ථකව ‍පුහුණුව අවසන් කළ නාවික පුද්ගලයන් ඇමතූ නාවික හමුදාධිපති, ඉදිරි නාවික හමුදා රාජකාරීන් කාර්යක්‍ෂමව ඉටුකිරීම සඳහා ස්වයං පුහුණුවීම්, අධ්‍යයනයන් සහ අත්දැකීම් තුලින් තම දැනුම වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කල යුතු බවත්, නවීන ක්‍රමෝපායන් සහ යුධ උපක්‍රම පිළිබඳව මනා අවබෝධයෙන්, තාක්‍ෂණයෙන් හා විශිෂ්ඨ වෘත්තීයමය හැකියාවන්ගෙන් යුතු නාවික පුද්ගලයෙකු ලෙස ඕනෑම ආකාරයක අභියෝගයක් ජයගනිමින් මව්බිමේ නිදහස හා භෞමික අඛණ්ඩතාවය සුරැකීමට සුදානම්ව සිටිය යුතු බව අවධාරණය කරන ලදී.

තවද, පුහුණු කටයුතු සදහා ඇපකැපවී ක්‍රියාකල ශ්‍රීලංනානෞ විදුර ආයතනයේ ආඥාපති ඇතුළු උපදේශක මණ්ඩලයේ සියළු සාමාජිකයන්හට සහ පුහුණු වූ නාවික පුද්ගලයින් ඒ සඳහා ධෛර්යමත් කළ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්හට සිය කෘතඥතාවය පල කිරිමට ද නාවික හමුදාධිපති විසින් කටයුතු කරන ලදී.

මෙම ලාංඡන පැළඳවීමේ අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, යුද හා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම විසිර යන නාවික පුද්ගලයින්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.