ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්ගේ විසිරයාම සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් අධිකාරියට පත් කිරීම නාවික හා සාගරික විද්‍යාපීඨයේදී

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසිරයාම සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් අධිකාරියට පත් කිරීමේ උත්සවයක් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දුගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සංජීව ඩයස් ගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු මස 05 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පැවැත්විණි.

ඒ අනුව, සාර්ථකව පුහුණුව අවසන්කළ 1/2021 ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන් 09 දෙනෙකු විසිරයාම සහ 1/2021 සේවා ප්‍රවේශ බඳවා ගැනීමට අයත් සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් 14 දෙනෙකු අධිකාරියට පත්කිරීම නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති අභිමානවත් විසිර යාමේ හා අධිකාරියට පත්කිරීමේ උත්සවයේ දී සිදු කෙරිණි.

තවද, පුහුණු කාලසීමාව තුලදී සුවිශේෂි දක්‍ෂතා දැක්වූ ඉදුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයන් වෙත කුසලාන හා සම්මාන ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරිණි. ඒ අනුව, ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන්ගේ දක්‍ෂතම හා සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් නිලධාරියා ලෙස උප ලුතිනන් ඒඒඩීඒ පෙරේරා, දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස උප ලුතිනන් ඩබ්සී ප්‍රියදර්ශණ සහ දක්‍ෂතම වෙඩික්කරු ලෙස උප ලුතිනන් ඊඑම්එල්පී විජේකෝන් කුසලාන හා සම්මාන හිමිකරගන්නා ලද අතර, සේවා ප්‍රවේශ බඳවාගැනීමේ දක්‍ෂතම අපේක්‍ෂකයා ලෙස කේඩබ්සීඑම් කලටුවාව, දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ඩිඑම්එච්එස්එල් දිසානායක සහ දක්‍ෂතම වෙඩික්කරු ලෙස ජේජිඩි මදුසංඛ කුසලාන හා සම්මාන හිමිකරගන්නා ලදි.

එමෙන්ම, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති විසින් විසිරයන නිලධාරීන් සහ අධිකාරියටපත් සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් හට සුභ පැතුම් එක් කරන ලද අතර, මවුබිම වෙනුවෙන් සේවය කිරීම සඳහා සිය දරුවන් නාවික හමුදාව වෙත එක්වීමට දිරිමත් කළ ඔවුන්ගේ දෙමව්පියන් වෙතද සිය කෘතඥතාවය පල කර සිටින ලදී. තවද, මෙම උත්සව අවස්ථාව නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ සංස්කෘතික කණ්ඩායමේ වර්ණවත් අංගයන්ගෙන්ද සමන්විත විය.

මෙම විසිර යාමේ හා අධිකාරියටපත් කිරීමේ උත්සවය සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත අනෙකුත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් මෙන්ම විසිරයන නිලධාරීන් හා අධිකාරියටපත් සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින්ගේ ඥාතීන් පිරිසක් ද සහභාගිවී සිටියහ.