උතුරු මැද නාවික විධානයේ ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

උතුරු මැද නාවික විධානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන්, සිදු කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න විසින් 2022 මාර්තු මස 05 වන දින විවෘත කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය තුළ අභිනවයෙන් ඉදිකරන ලද නිලධාරි නිවාස ගොඩනැගිල්ල, සිව්මහල් කණිෂ්ඨ නාවික නිවාසය සහ ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රධාන මුළුතැන්ගෙය, පොදුභෝජනාගාරය, ආහාර ගබඩාව හා නාවික ගබඩා ඇතුලත් දෙමහල් ගොඩනැගිල්ල නාවික හමුදාධිපති විසින් විවෘත කරන ලදී. තවද, එම ඉදිකිරීම් සඳහා ශ්‍රමදායකත්වය දැක් වූ නාවිකයින් අමතා ඔවුන්ගේ සේවය ඇගයීමට හා එම අවස්ථාවන් සනිටුහන් කරමින් පැලයක් රෝපණය කිරීමටද නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ඉදිකරමින් පවතින නව පරිපාලන ගොඩනැගිල්ලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමටද නාවික හමුදාධිපති විසින් එම අවස්ථාවේ කටයුතු කළ අතර, එහිදී ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

‍අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය සහ ශික්‍ෂා ආයතනයන්ට අනුයුක්ත නාවික පුද්ගලයන් ඇමතු නාවික හමුදාධිපති, උතුරු මැද නාවික විධානය වෙත පැවරී ඇති රාජකාරී කටයුතු කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස ඉටුකිරීමට ලබා දෙන්නා වූ දායකත්වය සම්බන්ධයෙන් නාවික පුද්ගලයන් වෙත සිය ප්‍රසාදය පලකරන ලදී. තවද, නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය කාර්යක්‍ෂමව ඉටුකිරීමට හැකිවන පරිදි සියළුම නාවික පුද්ගලයින් තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය නිසිලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළ නාවික හමුදාධිපති, අංශ ක්‍රමය නිසිලෙස පවත්වාගනිමින් නාවිකයන්ගේ ගැටළු පිලිබඳ නිරන්තර අවධානය යොමු කිරීමට සියළුම අංශභාර නිලධාරීන් කටයුතු කළ යුතු බවත්, එහිදී වැඩි දුරටත් අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාව සඳහා, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නිලන්ත හේවාවිතාරණ, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් සීමිත පිරිසක් සහභාගිවී සිටියහ.