නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සංජීව ඩයස් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සංජීව ඩයස් සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 මාර්තු 09) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් සංජීව ඩයස් වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි. අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාර පුද කර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ‍එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදී.

1987 වර්ෂයේදී 16 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සංජීව ඩයස්, සිය වසර 34 කට අධික සේවා කාලය තුළ විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු නාවික යුධායුධ නිලධාරී, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී, අධ්‍යක්‍ෂක රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිනි අවි ප්‍රසම්පාදන ඒකකය (CEFAP), ත්‍රිකුණාමලය දකුණ නාවික අණභාර නිලධාරී, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේ ආඥාපති, ගාල්ල වරාය පහසුකම් සහ ආරක්‍ෂක නිලධාරි, වැලිසර නාවික සංකීර්ණයේ නාවික අණභාර නිලධාරී, අධ්‍යක්‍ෂ ක්‍රීඩා, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, අධ්‍යක්‍ෂ නාවික විදේශ සබඳතා, අධ්‍යක්‍ෂ සාගරික විශේෂ බලකා, අධ්‍යක්‍ෂ නාවික සමුද්‍රීය නිරීක්‍ෂණ, ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්‍ෂක කටයුතු සම්බන්ධීකරණ නිලධාරී, අධ්‍යක්‍ෂ නාවික අවි, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති සහ ත්‍රිකුණාමලය වරාය පහසුකම් සහ ආරක්‍ෂක නිලධාරි, උතුරු මැද සහ නැගෙනහිර නාවික විධානයන්හි ආඥාපති ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.