නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 මාර්තු 11) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි. අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාර පුද කර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ‍එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදී.

1987 වසරේ දී ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 05 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න, සිය වසර 34 කට අධික සේවා කාලය තුළ විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු වැලිසර නාවික සංකීර්ණයේ නාවික අණභාර නිලධාරී, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සාගරික විශේෂ බලකා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික සමුද්‍රීය නිරීක්‍ෂණ, නාවික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, සහකාර අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැළසුම්, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති සහ කන්කසන්තුරය වරාය පහසුකම් සහ ආරක්‍ෂක නිලධාරි, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති සහ කොළඹ වරාය පහසුකම් සහ ආරක්‍ෂක නිලධාරි, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන, වයඹ සහ උතුරු මැද නාවික විධානයන්හි ආඥාපති ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.