නැගෙනහිර පළාතේ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් සඳහා නාවික හමුදා සහය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් නැගෙනහිර පළාතේ සාම්පූර්, ත්‍රිකුණාමලය සහ මුලතිවු ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් 2022 මාර්තු මස 06, 08, 10 සහ 11 යන දිනයන්හි ක්‍රියාත්මක කරන ලද ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් කිහිපයක් සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදාව විසින් සෞඛ්‍ය අංශ වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදී.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟ පෙන්වීම යටතේ නැගෙනහිර නාවික විධාන අඥාපතිගේ අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් යටතේ 2022 මාර්තු මස 06 වන දින සාම්පූර් කුන්නිතිවා නාවලර් විද්‍යාලයේදී, සාම්පූර් ප්‍රාදේශීය රෝහල හා එක්ව නැගෙනහිර නාවික විධාන වෛද්‍ය කාර්යමණ්ඩලය විසින් එම ප්‍රදේශයේ ජනතාව වෙත බෝ නොවන රෝග පාලනය කර ගැනීම සම්බන්දයෙන් ජනතාව දැනුවත් කිරීමේ සායනයක් පවත්වන ලද අතර, ඒ සඳහා ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී වී සේවාවන් ලබා ගන්නා ලදී.

තවද, ත්‍රිකුණාමලය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලය හා නැගෙනහිර නාවික විධානය එක්ව 2022 මාර්තු මස 08 වන දින සහ 11 වන දින පාසල් ළමුන් සඳහා කොවිඩ් 19 එනනත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ අතර, ඒ අනුව, ත්‍රිකුණාමලය ශ්‍රී ශන්මූග හින්දු බාලිකා විද්‍යාලයේදී ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩසටහන මඟින් පාසල් සිසුන් 650කට අධික පිරිසකටත්, ත්‍රිකුණාමලය ඔර්ස්හිල් විවේකානන්දා විද්‍යාලයේ සහ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ක්‍රියාත්මක කරන ලද එන්නත් කරණ වැඩසටහන් මගින් පාසල් සිසුන් 550කට අධික පිරිසක් එන්නත් කරනය කිරීම සිදු කරන ලදී.

මීට අමතරව, මුලතිවු මහ රෝහලේ ඉල්ලීමකට අනුව එම රෝහලේ රුධිර සංචිත නිසි ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, 2022 මාර්තු මස 10 වන දින නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ද සංවිධානය කිරීමට නැගෙනහිර නාවික විධානය මඟින් කටයුතු කළ අතර, මෙම උතුම් සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නාවික පුද්ගලයින් පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලදී.

මහජනතාව වෙනුවෙන් සිදු කරන මෙවැනි මෙම ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් සඳහා ඉදිරියේදීද අවශ්‍ය සහයෝගය ලබා දීමට නාවික හමුදාව සූදානමින් සිටී.