සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති කච්චතිවු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය නිමාවට පත්වේ

කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු - ශ්‍රීලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මංගල්‍යය අද (2022 මාර්තු 12) නිමාවට පත්විය. ඒ අනුව, සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මෙවර දේව මංගල්‍යයේ කටයුතු සාර්ථකව සිදු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැළසීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනුග්‍රහයෙන් සිදුකෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සීමිත ශ්‍රී ලාංකික සහ ඉන්දියානු බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මෙවර දේව මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙය යාපනය දියෝකිසය භාර අනුනායක ජෝෂප් ජෙබරත්නම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අතර, ඒ සඳහා ඉන්දියාව සහ ශ්‍රීලංකාව නියෝජනය කරමින් තවත් පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පිරිසක් එක්ව සිටියහ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මඟ පෙන්වීම මත වාර්ෂික කච්චතිව් මංගල්‍යය සදහා අවශ්‍ය පහසුකම් සපුරා දීම උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරුණු අතර, එහිදී, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සම්බන්ධීකරණය වී එම පහසුකම් ලබා දීමට උතුරු නාවික විධානය මඟින් කටයුතු කරන ලදී, ඒ අනුව කච්චතිව් මංගල්‍යය සඳහා සහභාගී වූ බැතිමතුන් හට අවශ්‍ය ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කර දීම, විදුලි පහසුකම් සලසා දීම, බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීම මෙන්ම වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් යෙදවීමටත් නාවික හමුදාව කටයුතු කරන ලදී.

තවද, දේව මංගල්‍ය සඳහා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවික හමුදා නිලධාරීන්, උතුරු නාවික විධානයේ ආඥාපති ඇතුළු ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය ආයතන නිලධාරීන් පිරිසක් ඇතුළු ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගී වී සිටින ලදී.