ඉන්දියනු නාවික හමුදා නෞකාවන් දිවයිනෙන් පිටත්ව යයි

නිළ සංචාරයක් සඳහා 2022 මර්තු මස 10 ‍වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදා බටහිර නෞකා සමූහයේ ධජ නෞකාව වන Destroyer වර්ගයට අයත් ‘INS Chennai ’ නෞකාව සහ Frigate වර්ගයේ යුද නෞකාවක් වන ‘INS Teg’ යන නෞකාව අද (2022 මර්තු 12) දිවයිනෙන් පිටත්ව යන ලදි.

ඒ අනුව, දිවයිනෙන් පිටත්ව ගිය ඉන්දීය නාවික හමුදා නෞකා වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරුණු අතර, ‘INS Chennai’ සහ ‘INS Teg’ යන නෞකාවන් දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත විය. එහිදී නෞකා අතර මුහුදේදී භාණ්ඩ හා ඉන්ධන හුවමාරු කිරීම සඳහා ප්‍රවේශ වීම, නෞකා සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම වැනි නාවික අභ්‍යාසයන් කිහිපයක නිරත විය.

එමෙන්ම, මෙම නෞකාවන්ගේ නැව් මුළු දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ විවිධ වැඩසටහන් සඳහා ද සහභාගී වු අතර, එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කර ගැනීමට මෙන්ම, නව දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද අවස්ථාව උදාවිය.

තවද, මෙම සංචරයේදී ඉන්දීයානු නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදා රුවල් ඔරු සංචිතය වෙත අවශ්‍ය උපකරණ ලබා දීමක් සිදු කරන ලද අතර, එම උපකරණ ඉන්දියානු නාවික හමුදාවේ බටහිර නෞකා සමූහයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් සමීර් සක්සේනා (Rear Admiral Sameer Saxena, Flag Officer Commanding Western Fleet Indian Navy) විසින් අද (2022 මර්තු 12) උදෑසන ‘INS Chennai’ නෞකාවේදී ශ්‍රී ලංකා නවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන වෙත නිළ වශයෙන් භාරදීම සිදු කරන ලදී.