ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත්, Arleigh Burke-Class Destroyer වර්ගයේ නෞකාවන් වන USS FITZGERALD (DDG 62) නෞකාව අද (2022 මාර්තු මස 13) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Arleigh Burke-Class Destroyer වර්ගයට අයත් USS FITZGERALD (DDG 62) යුද නෞකාව දිගින් මීටර 160 ක් සහ නැව් මුළුව 300ක ගෙන් සමන්විත වන අතර එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් D.J. Catteral කටයුතු කරනු ලබයි.

USS FITZGERALD (DDG 62) නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය සහ දැනුම හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කර ඇති විවිධ වැඩසටහන් සඳහාද සහභාගි වීමට නියමිතව ඇති අතර, මෙම නෞකාව 2022 මාර්තු මස 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

තවද, මෙම නෞකාව හා සම්බන්ධ කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරනු ලබයි.