සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා නාවික පුද්ගලයින් හට නව මෘදුකාංගයක්

නාවික පුද්ගලයන්හට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම වෙනුවෙන් සිදු කරනු ලබන සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ තවත් එක් ඉදිරි පියවරක් වශයෙන් Mobile Solution (Healthy Navy 2022) නැමැති නව ජංගම දුරකථන මෘදුකාංගය (Mobile App) 2022 මාර්තු මස 15 වන දින එළි දක්වන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟ පෙන්වීම යටතේ එළිදැක්වුණු මෙම නව ජංගම දුරකථන මෘදුකාංගය සියලුම නාවික පුද්ගලයින් හට සෞඛ්‍යසම්පන්න ජීවිතයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය අරමුණු කරගනිමින් ක්‍රියාවට නැංවිණි. පහසුවෙන් පරිහරණය කළ හැකි මෙම ජංගම දුරකථන මෘදුකාංගය මගින් ශරීර ස්කන්ධ දර්ශකය (BMI) මනාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වඩාත් ඵලදායි ක්‍රියාකාරකම් පිළිබඳ උපදෙස් නාවික පුද්ගලයින්හට ඉතා සරළව ලබා ගැනීමට හැකියාව සලසා දී ඇත.

මෙම ජංගම මෘදුකාංගය මගින් පුද්ගලයෙකු දෛනිකව ලබාගතයුතු කැලරි ප්‍රමාණය, නියමිත දිනයේදී ලබාගත් කැළරි ප්‍රමාණය සහ අමතර කැලරි ප්‍රමාණයක් ලබාගෙන ඇත්නම් එය දහනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලබන අතර, එහි අන්තර්ගත විවිධ ආහාරයන්ගේ කැලරි ප්‍රමාණයන් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති ‘ශ්‍රී ලංකාවේ ආහාර සංයුති වගුව’ නැමති ග්‍රන්ථය පාදක කර ගනිමින් සකස් කර ඇත.

තවද, Android 8.0 ජංගම දුරකථන සඳහා යාවත්කාලීන කරන ලද Mobile Solution (Healthy Navy 2022) මෘදුකාංගය නාවික පුද්ගලයින්ගේ භාවිතය සහ අවශ්‍යතාවය මත ඉදිරියේදී තවදුරටත් යාවත්කාලීන කරමින් වැඩිදියුණු කිරීමට නාවික හමුදාව අපේක්‍ෂා කරයි.