ඉන්දීයානු නාවික හමුදාවේ රුවල් යාත්‍රා 05ක් මඟින් ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් සඳහා සිදුකළ පුහුණු වැඩසටහනක් අවසන් කරයි.

ඉන්දියානු නාවික හමුදාවේ රුවල් යාත්‍රා 05ක් 2022 මාර්තු මස 10 වන දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් වෙත පුහුණු වැඩසටහන් සිදුකරමින් අද (2022 මාර්තු 16) එම බලගණය කොළඹ වරායට සේන්දු විය.

ඉන්දියානු නාවික හමුදාවට අයත් Van de stadt Tonga 56 සහ LC Class 40 වර්ගයේ පුහුණු රුවල් යාත්‍රාවන් වන INSV Mhadei, INSV Tarini, INSV Bulbul, INSV Kadalpura සහ INSV Hariyal යන යාත්‍රාවන් 30 දෙනෙකුගෙන් සමන්විත නැව්මුළුවක් සමඟින් මෙලෙස 2022 මාර්තු මස 10 වන දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, එම යාත්‍රාවන් පුහුණු වැඩසටහන් සිදු කරමින් දින 03ක් ත්‍රිකුණාමල වරායේ රැදී සිටීමෙන් අනතුරුව, 2022 මාර්තු මස 13 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් 11ක්, කාන්තා මධ්‍ය නිලධාරීන් 02ක් සහ එක් (01) පුහුණු උපදේශක නිලධාරියෙකු සමඟින් ත්‍රිකුණාමලය වරායේ සිට කොළඹ වරාය වෙත අද (2022 මාර්තු 16) සේන්දු විය.

මෙම පුහුණු වැඩසටහන් මඟින් ඉන්දියානු සාගර කලාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවන පාර්ශවකරුවන් වශයෙන් දෙරටේ නාවික හමුදාවන්ගේ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය න්‍යායික සහ ප්‍රායෝගික දැනුම හුවමාරු කරගැනීම අපේක්‍ෂා කරන ලදී.

මෙලෙස දිවයිනට සේන්දුවූ ඉන්දියානු රුවල් යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කෙරෙන පුහුණු වැඩසටහන් නිමා කරමින් 2022 මාර්තු මස 19 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, මෙම පුහුණු රුවල් යාත්‍රාවන් හා සම්බන්ධ කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරනු ලබයි.