ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ ප්‍රධානත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ පූජා භූමි සන්නස් පත්‍රය ප්‍රදානය කෙරේ

යාපනය ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය පූජා භුමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු මස 19 වන දින නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න සහභාගී විය.

ඒ අනුව, ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයට පිවිසි ගරු අග්‍රාමාත්‍ය තුමා සහ නාවික හමුදාධිපති, අමරපුර මහා සංඝ සභාවේ සභාපති චූලගන්ති මහා නිකායේ මහා නායක අචාර්ය ගංතුනේ අස්සජි මහානායක හිමිපානන් සහ නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වන්දනාමාන කරන ලදී. අනතුරුව, ගරු අග්‍රාමාත්‍ය තුමන් විසින් ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ පූජා භුමි සන්නස් පත්‍රය, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ, අඹගහපිටිය පාර්ශ්වයේ, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක, නාගදීප විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමිපාණන් වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.

අමරපුර මහා සංඝ සභාවේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු මෙම පූජා භුමි සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ අවස්ථාව සාර්ථකව සංවිධානය කිරීම සඳහා නාවික හමුදාව මඟින් සියලු කටයුතු සූදානම් කරන ලද අතර, උත්සව අවස්ථාව සඳහා වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය ඇතුළු සම්භාවනීය අමුත්තන්, රාජ්‍ය නිලධාරීන් සහ බැතිමතුන් ආරක්ෂිතව මුහුදු මඟින් ප්‍රවාහනය කිරීම සඳහා මෙන්ම ඔවුන් වෙත අවශ්‍ය පහසුකම් සැලසීම සඳහාද නාවික හමුදාව විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරිණි.

යාපනය නයිනතිව්‍ දූපතේ පිහිටි මෙම ඓතිහාසික පූජාභූමිය අනාගත බොදු බැතිමතුන් වෙනුවෙන් රැකදීම සඳහා නයිනතිව්‍ දූපතේ මෙන්ම නාගදීප පූජා භූමියේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව පසුගිය යුද සමයේදී සුවිශේෂී දායකත්වයක් දක්වන ලද අතර, ඉදිරියටත් මෙම පූජා භූමියට මෙන්ම උතුරේ දූපත් වෙත අවශ්‍ය ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් නාවික හමුදාවට පැවරී ඇති වගකීම නොපිරිහෙලා ඉටුකිරීමට නාවික හමුදාව කැපවී සිටියි.

තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලද මෙම උත්සව අවස්ථාව සඳහා ගරුතර මහාසංඝරත්නය වැඩමවා වදාළ අතර, රජයේ මැති ඇමතීන්, රාජ්‍ය නිලධාරීන්, උතුරු නාවික විධානයේ ආඥාපති ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ බැතිමතුන් පිරිසක් ද සහභාගි වී සිටියහ.