ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවති මාණ්ඩලික සාකච්ඡාවේ සහ ඒකාබද්ධ සාගරික සාකච්ඡාවේ තුන්වන වෙළුම නිමාවට පත්වේ

ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී 2022 මාර්තු 22 සිට දින දෙකක් (02) ක් පැවති මාණ්ඩලික සාකච්ඡාවේ තුන්වන වෙළුම (03rd Navy to Navy Staff Talks SLN – USN) 2022 මාර්තු මස 23 වන දින සාර්ථකව නිමාවට පත්විය.

පොදු සාගරික අභියෝග ජය ගැනීම සඳහා දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම හා සම්බන්ධීකරණය වීම, අන්‍යෝන්‍ය හැකියාවන් අවබෝධකර ගැනීම සහ හවුල්කාරීත්වය වර්ධනය කිරීම සඳහා ඉතා හොඳ අවස්ථාවක් නිර්මාණය කර දෙනු ලබන ශ්‍රී ලංකා සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවන් අතර මාණ්ඩලික සාකච්ඡා 2016 වර්ෂයේ සිට පැවැත්වේ. ඒ අනුව මෙවර පැවැත්වූ එහි තුන්වන වෙළුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ධූත මණ්ඩලය නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන ගේ ප්‍රධානත්වයෙන් සහභාගී වූ අතර, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා ධූත මණ්ඩලය ඇමරිකානු හත් වන නෞකා සමූහයේ නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් රොබට් ටී ක්ලාක් (Deputy Commander, Seventh Fleet Rear Admiral Robert T. Clark) ගේ ප්‍රධානත්වයෙන් සහභාගී විය. තවද මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ධූත පිරිසක්ද සහභාගී වී සිටින ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව අතර 2022 මාර්තු මස 22 වන දින පැවති මාණ්ඩලික සාකච්ඡාවේදී (03rd Navy to Navy Staff Talks SLN – USN) මීට පෙර පැවති දෙවන අධියරේදී සාකච්ඡා කළ තේමාවන්ගේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව අතර සිදු කරනු ලබන මෙහෙයුම් කටයුතු, පුහුණු අභ්‍යාස හා ක්‍රියාකාරම් සහ තාක්‍ෂණික සහයෝගීතාවය යන තේමාවන්ට අදාලව ශ්‍රී ලංකා නාවික හමුදා පාර්ශවය විසින් ඉදිරිපත් කල කරුණු සාකච්ඡා කරන ලදී.

මෙම සාකච්ඡාවේ දෙවන දිනය (2022 මාර්තු 23) ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර නෞකා සමූහය (US Pacific Fleet) සහ ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර ගුවන් හමුදාවේ (US Pacific Air Forces) සහභාගිත්වයෙන් ඒකාබද්ධ සාගරික සාකච්ඡාවක් (Joint Maritime Talks) පවත්වන ලද අතර, එහිදී මෙරට සමුද්‍රීය ආවේක්‍ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය හා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය, මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම, ඒකාබද්ධ සමුද්‍රීය මූලධර්ම සහ ඒකාබද්ධ සමුද්‍රීය අභ්‍යාස ඇතුළු වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගන්නා ලදී.

මෙම ඒකාබද්ධ සාගරික සාකච්ඡාව සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්‍ෂ ගුවන් මෙහෙයුම් එයා වයිස් මාෂල් උදේනි රාජපක්‍ෂ, ඇමරිකානු හත් වන නෞකා සමූහයේ නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් රොබට් ටී ක්ලාක් සහ ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර ගුවන් හමුදාවේ ජාතික ගුවන් සහායක මේජර් ජෙනරල් ‍ඩේවිඩ් බී බර්ගි යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටින ලදී.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් හැකියාව වර්ධනය කිරීම සඳහාත් නාවික හමුදාවේ හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණය ඇතුළු නාවික හමුදාවේ විශේෂ බලඝණයන්ගේ පුහුණු කටයුතු සඳහා ඇමරිකානු නාවික හමුදාව සිදු කරනු ලබන සුවිශේෂී දායකත්වය මෙහිදී නාවික හමුදා අධයක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන විසින් ඇගයීමටද කටයුතු කළ අතර, සමුද්‍රීය පාර්ශවකරුවන් අතර සිදු කෙරෙන මෙවැනි මාණ්ඩලික සාකච්ඡා මඟින් ඉදිරියේදී පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම සඳහා සාමුහිකව විසදුම් සෙවීමට මහඟු අවස්ථාවක් උදාවනු ඇත.