නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කෙරේ

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කර ඇති සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානය (Information Fusion Centre - Colombo) වෙත සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීම හා සබැඳි උපකරණ (MDA Equipment) නිළ වශයෙන් ලබා දීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිශුකොෂි හිඩයාකි (Mizukoshi Hideaki) මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (2022 මාර්තු 25) දින නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

ශ්‍රී ලංකාව, කිලෝමීටර 1340ක දුර ප්‍රමාණයකින් යුත් වෙරළ තීරයකට සහ වර්ග කිලෝ මිටර් 510,000 ක අනන්‍ය ආර්ථික කලාපයකට හිමිකම් කියනු ලබන අතර, මෙම වෙරළ තීරයේ සහ අනන්‍ය ආර්ථික කළාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙන්ම ගොඩබිම මෙන් 27 ගුණයක් විශාල සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කළාපය සඳහා ද ශ්‍රී ලංකාව වගකියනු ලබයි. එසේම ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට ආසන්න ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගය ඔස්සේ වෙළඳ නෞකා විශාල ප්‍රමාණයක් යාත්‍රා කරන බැවින්, එම මුහුදු කළාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද දූපත් රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවට සුවිශේෂී වගකිමක් පැවරී ඇත.

ඒ අනුව, සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් සහ සමුද්‍රීය පාරිසරික ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා, සමුද්‍රීය වපසරිය නිරන්තර අවේක්‍ෂණය කරමින් තොරතුරු එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ එම තොරතුරු දැනගතයුතු පාර්ශවයන් වෙත මුදා හැරීම නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානය (Information Fusion Centre - Colombo) මගින් සිදු කෙරේ. මෙම මධ්‍යස්ථානය මඟින් සිදු කරනු ලබන ‍මෙහෙයුම් තවදුරටත් කාර්යක්‍ෂමව සිදු කිරීම සඳහා ජපන් රජයේ ආධාර මත, මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ පිළිබඳ වැඩසටහන යටතේ (UNODC – GMCP) ප්‍රදානය කරන ලද උපකරණ නිළ වශයෙන් නාවික හමුදාව වෙත ලබා දීම අද (2022 මාර්තු 25) ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තවද, මෙම සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථනයේ නිළ වෙබ් අඩවිය එළි දැක්වීම නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානයේ දී සිදු කෙරුණු අතර, මෙම වෙබ් අඩවිය වෙත https://www.ifccolombo.org/ ඔස්සේ පිවිසිය හැක.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකාවේ ජපාන ආරක්‍ෂක උපදේශක කපිතාන් ෆුකොවුරා ගාකු (Capt Fukaura Gaku) සහ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉන්දියානු සාගර කළාපයේ වැඩසටහන් සම්බන්ධීකාරක, පර්නිල්ලේ රස්මුසෙන් (Pernille Rasmussen) මහත්මිය ඇතුළු නියෝජිතයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.