බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘PROTTASHA’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘Corvette’ වර්ගයේ යුද නෞකාවක් වන ‘BNS PROTTASHA’ නෞකාව අද (2022 අප්‍රේල් 02) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘PROTTASHA’ නෞකාව දිගින් මීටර 90.01 හා 140 ක පමණ නැව් මුළුවකගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් මොහොමඩ් ගොලාම් කිබ්රියා (Commander Mohammad Golam Kibria) කටයුතු කරනු ලබයි.

‘PROTTASHA’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් මොහොමඩ් ගොලාම් කිබ්රියා, අද (2022 අප්‍රේල් 02) නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේ දී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සහ නාවික දියත් විධානයේ ධජ නිලධාරී රියර් අද්මිරාල් සමන් පෙරේරා හමුවී සුහඳ පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, බංගලාදේශ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කර ඇති විවිධ වැඩසටහන් සඳහාද සහභාගි වීමට නියමිතව ඇති අතර, මෙම සංචාරය නිමාකරමින් ‘PROTTASHA’ නෞකාව 2022 අප්‍රේල් මස 04 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.