නාවික හමුදා කථික තරඟාවලිය 2021 හි ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රධානය කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මගින් සංවිධානය කරනු ලැබු නාවික හමුදා කථික තරඟාවලිය - 2021 (Public Speaking Competition - 2021) හි අවසන් තරඟයේ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් වෙත සහතික පත් සහ තිළිණ ප්‍රධානය කිරීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් අද (2022 අප්‍රේල් 05) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි සිදු ‍කෙරිණි.

නාවික හමුදා පුද්ගලයින්ගේ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීමේ අරමුණින් නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් වශයෙන් කාණ්ඩ දෙකක් (02) යටතේ මෙම කථික තරඟාවලිය වාර්ෂිකව පවත්වනු ලබයි. අද දින (2022 අප්‍රේල් 05) පැවති අවසන් තරඟයෙන් සුවිශේෂී දක්‍ෂතා පෙන්නුම් කර පළමු, දෙවන හා තෙවන ස්ථානයන් ලබාගත් නිලධාරීන් වෙත පිළිවෙලින් රුපියල් 100,000.00, රුපියල් 75,000.00 සහ රුපියල් 50,000.00 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් සිදු කෙරිණි.

ඒ අනුව, ජ්‍යේෂ්ඨ නිලධාරි අංශයේ ප්‍රථම ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් එස්පීඑච්ඩී සේනාධීර විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඊඑම්එම්වීආර් වික්‍රමගේ විසින් ද, තෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඩීවයිආර්ආර් වීරසේකර විසින්ද, සිව්වන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ජේඒඑස්ඩබ් ජයසිංහ විසින් සහ පස්වන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ජේඑම්එච්අයි බණ්ඩාර විසින්ද හිමිකර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ කණිෂ්ඨ නිලධාරි අංශයේ ප්‍රථම ස්ථානය ලුතිනන් යූජීඒ ලක්‍ෂාන් විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන් එම්ඉසෙඩ්‍ඉසෙඩ් අහමඩ් විසින් ද, තෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් එම්ටීඑන්කේ ප්‍රනාන්දු විසින් සහ සිව්වන ස්ථානය ලුතිනන් ඩීබීඒඑස් සිරිනන්ද හා ලුතිනන් පීවයිකේ පෙරමුණආරච්චි විසින් හිමිකර ගන්නා ලදී.

තවද, මෙම තරඟාවලියේ අවසන් දින විනිශ්චය මණ්ඩලය ලෙස නාවික හමුදා වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන කොමදෝරු ප්‍රසාද් කාරියප්පෙරුම, අධ්‍යක්‍ෂ නාවික පුද්ගල කොමදෝරු රවීන්ද්‍ර තිසේරා, ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටනැශනල් සාමාජයේ (Toastmasters Internationals) නිරෝශන් නඩරාජා මහතා සහ ලංකිකා ආරියසිංහ මහත්මිය කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන ඇතුළු නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන්, නාවික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, කපිතාන් එල්සී විතානගේ, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් පිරිසක් ද සහභාගි වි සිටීයහ.