ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම් ‍කාර්යාලයේ පළමු මහළ විවෘත කෙරේ

වැලිසර නාවික සංකීර්ණයේ ස්ථාපිත ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ඉදිකිරිම් අවසන් කරන ලද පළමු මහළ නාවික හමුදාධිපති සහ නාවික හමුදා සංගමයේ අනුශාසක වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2022 අප්‍රේල් 07) විවෘත කෙරිණි.

නාවික හමුදාවෙන් විශ්‍රාම ලත් හා ගෞරවණීය ලෙස සේවයෙන් නික්ම ගිය නාවික හමුදා සාමාජිකයින් 8000ක් පමණ සාමාජිකත්වය දරණ ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයට අනුබද්ධිත ප්‍රදානතම සංගමයක් වේ. ඒ අනුව, නාවික හමුදා සංගමයේ මූල්‍යමය දායකත්වයෙන් හා නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් නාවික මහ රෝහල (කොළඹ) වෙතින් ප්‍රථිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන නාවික හමුදා සංගමයේ සාමාජිකයින් ඇතුළු අනෙකුත් නාවික හමුදා සාමාජිකයන්හට නවාතැන් සැපයීම සඳහා අංග සම්පූර්ණ පහසුකම් සහිතව ඉදිකරන ලද පළමු මහළ අද දින නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් මෙලෙස විවෘත කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති අද්මිරාල් (විශ්‍රාමික) දායා සඳගිරි විසින් නාවික හමුදාධිපති වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීමට ද කටයුතු කරන ලදී.

තවද මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ මහලේකම් මහාචාර්ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ෂේමාල් ප්‍රනාන්දු ඇතුළු එම සංගමයේ සාමාජිකයින්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, නාවික හමුදා ජ්‍යේෂ්ඨ උපදේශක, සෞඛ්‍ය හා පෝෂණ, බෝ නොවන රෝග නිවාරණ (කොවිඩ් 19 ඇතුළුව) රියර් අද්මිරාල් (වෛද්‍ය) ජීඑස්ආර් ජයවර්ධන, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ සහ වැලිසර නාවික සංකීර්ණයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වී සිටීයහ.