නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

හෝමාගම දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 2022 ශත සංවත්සර සැමරුම් ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මිටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රි ලංකා වාර්තාවක් පිහිටුවීමට ආසියානු රන් පදක්කම්ලාභි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න අද (2022 අප්‍රේල් 09) සමත් විය.

ඒ අනුව, 2022 ශත සංවත්සර සැමරුම් ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේ, අද (2022 අප්‍රේල් 09) පැවති මිටර් 800 කාන්තා ධාවන ඉසව්ව විනාඩි 02 තත්පර 01.44 කින් (02:01.44) විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින්, එම ධාවන ඉසව්ව විනාඩි 02 තත්පර 02.52 කින්(02:02.52) නිමා කරමින්, දිල්ෂි කුමාරසිංහ ක්‍රීඩිකාව 2021 වර්ෂයේ පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්ථාව අභිබවමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවිමට නාවික හමුදා ක්‍රීඩිකා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න සමත් විය. එමෙන්ම, මෙම තරඟාවලියේ 2022 අප්‍රේල් මස 08 වන දින පැවති මිටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමටද මෙම ක්‍රිඩිකාව සමත්විය.

තවද, මෙම නව ශ්‍රී ලංකා වාර්තාව ද සමඟ මීටර 800, මීටර 1500 සහ මීටර 5000 යන කාන්තා ධාවන ඉසව්වන් ත්‍රිත්වයේම වත්මන් ශ්‍රී ලංකා වාර්තාවන්ට හිමිකම් කීමට කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව සමත්ව ඇත.

මීට අමතරව, ඇය 2017 වර්ෂයේ තායිපේ හිදී පැවති තායිපේ සිටි ආසියානු ග්‍රෝන් ප්‍රී තරගාවලියේදී මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක්ද, 2017 වර්ෂයේ ඉන්දියාවේදී පැවති ආසියානු ශුරතාවලියේදී මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන් රිදී පදක්කමද, 2018 වර්ෂයේ ජකර්තා නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 1500 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් සහ එම ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද, දිනාගනිමින් නාවික හමුදාවට මෙන්ම මව්බිමට විශාල ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩිකාවකි. ඇයගේ පුහුණුකරු ලෙස ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ, ජිඑල් සජිත් ජයලාල් මහතා කටයුතු කරනු ලබයි.

දෙස් විදෙස් ක්‍රීඩා ජයග්‍රහණයන් රැසකට හිමිකම් කියන සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න, 2021 වර්ෂයේ ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 1500 සහ මීටර 5000 යන කාන්තා ධාවන ඉසව්වන්ගේ නව ශ්‍රී ලංකා වාර්තාවන් පිහිටුවමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අත්කර දුන් කීර්තිය අගයමින් ඇයව දිරි ගැන්වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම ක්‍රීඩිකාව නායක කාන්තා නැවි තරතිරමේ සිට කාන්තා සුළු නිලධාරී තරාතිරම දක්වා උසස් කිරීමට 2021 නොවැම්බර් මස 02 වන දින කටයුතු කරන ලදී. තවද, නාවික හමුදා මළල ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් දැක්වූ විශිෂ්ඨ දක්‍ෂතා අගයමින් 2021 වර්ෂයේ පැවති නාවික හමුදා වර්ණ ප්‍රධාන උත්සවයේ දී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය මෙම ක්‍රීඩිකාව වෙත පිරිනැමීමට කටයුතු කරන ලදී.