ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නාවික පුද්ගලයින් 32 දෙනෙකු වෙත ලාංඡන පැළඳවේ

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ 26 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් 04ක් සහ නාවිකයන් 28 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ උත්සවය 2022 අප්‍රේල් මස 09 වන දින පුත්තලම ග‍ඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්වුනු අතර, මෙම ලාංඡන පැලඳවීම, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන ගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරිණි.

මාස 08 ක කාල සීමාවක් පුරාවට පැවති මෙම පුහුණු පාඨමාලාවේ දුෂ්කර පුහුණුව තුලින් කුඩා යාත්‍රා යොදා ගනිමින් ක්‍රියාන්විත මෙහෙයුම් සිදු කිරීම මෙන්ම හදිසි සහ ස්වාභාවික ආපදා තත්වයන් හිදී විපතට පත් වූවන් මුදවා ගැනීමේ හා ඔවුන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කිරීමේ මෙහෙයුම් සඳහා ද අවශ්‍ය මනා පුහුණුවක් ලබා දීම සිදු කෙරිණි.

පුහුණු කාල සීමාව තුළදී සුවිශේෂී කුසලතා දැක්වූවන් සඳහා විශේෂ සම්මාන පිරිනැමීම, නාවික හමුදාධිපති නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා ප්‍රදාන ආරාධිතයා ලෙස සහභාගී වූ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන විසින් සිදු කෙරිණි. ඒ අනුව, විශිෂ්ඨතම පුහුණුවන්නාට හිමි සම්මානය ලුතිනන් පීඑච්එන්එන් දයාරත්න විසින් හිමි කර ගන්නා ලද අතර, දක්ෂතම යාත්‍රා හසුරවන්නාට හිමි සම්මානය ලුතිනන් ජීජීසීඑල් ගමගේ දිනා ගන්නා ලදි. එමෙන්ම, දක්ෂතම ජීවිතාරක්ෂකයා හා හොඳම ශාරීරික යෝග්‍යවත් පුහුණුවන්නා ලෙස බල නැවි පීඩබ්එම්ආර්එස්බී ගමගේ විසින් සම්මාන හිමි කර ගන්නා ලදී.

මෙම ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවේදී සිය පුහුණු වීමෙන් ලද පන්නරය විදහා දක්වමින් 26 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාවට අයත් නාවික පුද්ගලයින් විසින් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරීමේ සහ ආපදා සහන මෙහෙයුම් හි ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයන් සිදුකරන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද එක් විය.

"අනන්තයට එහා දිවෙන විජයග්‍රහණයක් කරා" යන තේමා පාඨය රැගත්, 2007 වර්ෂයේ ස්ථාපිත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීමේ මානුෂීය මෙහෙයුමේදී,සංග්‍රාමික යුද උපක්‍රමයක්වූ කුඩා යාත්‍රා සංකල්පය සාර්ථකව ක්‍රියාවට නංවමින් සතුරාට දරුණු ප්‍රහාර එල්ල කර, උතුරු නැගෙනහිර මුහුදු සංචරණ කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා නාවික හමුදාවට සුවිශේෂී දායකත්වයක් දක්වන ලදී.

තවද, මානුෂීය මෙහෙයුම විජයග්‍රහණය සඳහා දායකවූ මෙම බලඝණය, වර්තමානයේදී මෙරට මුහුදු කලාපය ඔස්සේ සිදුකෙරෙණ නීති විරෝධී කටයුතු ඇතුළු සාම්ප්‍රදායික නොවන මුහුදු තර්ජන ජයගැනීමට සුවිශේෂී දායකත්වයක් දක්වන අතර, ස්වභාවික ව්‍යසන හමුවේ ආපදාවට පත්වන මහජනතාව වෙත සහන සැලසීමේ මෙහෙයුම් සඳහා ද ආපදා කළමනාකරණ මධ්‍යස්තානයේ සම්බන්ධීකරණයෙන් නිරන්තර දායකත්වය ලබාදීමට නිරන්තර සූදානමින් සිටියි.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික කුමාර, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් රන්ජන් මැද්දේගොඩ, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ගයාන් වික්‍රමසූරිය ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ හා වයඹ නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, යුද හා ගුවන් හමුදා නිලධාරීන් මෙන්ම මෙම පාඨමාළාව සඳහා සහභාගී වූ නාවික පුද්ගලයන්ගේ දෙමව්පියන් ද සහභාගී වී සිටියහ.