‘සැපයුම් සම්මන්ත්‍රණය- 2022’ සහ 06 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

‘සැපයුම් සම්මන්ත්‍රණය - 2022’ සහ 06 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතිපත්‍ර ප්‍රධානය කිරීම 2022 අප්‍රේල් මස 23වන දින නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම්, රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

‘Opportunity of Revolutionary Logistics in Naval Context to Counter Challenges in Third Decade of Twenty First Century, යන්න මෙවර සැපයුම් සම්මන්ත්‍රණයෙහි තේමාව වූ අතර, මෙවර සම්මන්ත්‍රණය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 06 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ නිලධාරීන් විසින් ඉදිරිපත්කල කාලෝචිත පර්යේෂණ නිබන්ධන පහකින් යුත් සැසි දෙකකින් සමන්විත විය.

ඒ අනුව, පළමු සැසිය ‘Contemporary naval logistics in pandemic; challenges, opportunities and way forward’ යන තේමාව යටතේත්, දෙවන සැසිය ‘Innovations, constraints and opportunities of Naval Logisticians under digitalization’ යන තේමාව යටතේත් පැවැත්විණි.

තවද, කඩදාසි භාවිතයෙන් තොර සංකල්පය යටතේ සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයට සමඟාමීව අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා විසින්, විද්‍යුත් සඟරාවක් එළිදැක්වීමද සිදුකෙරුණු අතර, සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය අධ්‍යක්‍ෂ නාවික (වැටුප් හා විශාම වැටුප්) කොමදෝරු ආර්ඒසීඑන් රත්නායක විසින් සිදු කරන ලදී.

තවද, මෙම සැපයුම් සම්මන්ත්‍රණය අවසානයේ 06 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ නිලධාරීන් 19 දෙනෙකු හට සහතිපත්‍ර ප්‍රධානය කිරීම සිදු කෙරුණු අතර, එහිදී ලුතිනන් කොමාණ්ඩර් යොහාන් වනිගසේකර පාඨමාළාවේ දක්‍ෂතම මෙන්ම නාවික සහ ශාෂ්ත්‍රීය විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නිලධාරීයා ලෙසත්, ලුතිනන් කොමාණ්ඩර් ගිහාන් ප්‍රේමතිලක වඩාත් උනන්දුවෙන් පාඨමාලාව සිදුකළ නිලධාරියා ලෙසත් ත්‍යාග සහ කුසලාන හිමිකර ගන්නා ලදී.

ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දුගේ අධීක්‍ෂණය සහ මඟපෙන්වීම යටතේ 06 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ නිලධාරීන් විසින් විද්‍යාපීඨ කාර්යමණ්ඩලයේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය සඳහා නාවික හමුදා මූලස්ථානය සහ එක් එක් නාවික විධාන නියෝජනය කරමින් නාවික හමුදා සැපයුම් අංශයේ ප්‍රධානීන් රැසක් මෙන්ම නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නිලධාරීන් පිරිසක් සහභාවී සිටියහ.