නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අනුර කල්දේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් අනුර කල්දේරා සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 මැයි 01) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් අනුර කල්දේරා වෙත නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුභපැතුම් පිරිනැමීමෙන් පසු, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාර පුද කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ‍එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදී.

1988 වර්ෂයේදී 02 වන නාවික පාබල ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් අනුර කල්දේරා, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ විවිධ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පුහුණු (සැළසුම් සහ දේශීය පුහුණු අභ්‍යන්තර), ත්‍රිකුණාමලය දකුණ නාවික අණභාර නිලධාරී සහ ශ්‍රීලංනානෞ විදුර ආයතනයේ ආඥාපති, අධ්‍යක්‍ෂ නාවික පාබල සහ ආඥාපති නාවික පාබල ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.