නැගෙනහිර නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පැවැත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර වැඩසටහනක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2022 අප්‍රේල් මස 30 වන දින නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන නාවික හමුදා සමාජ සත්කාර වැඩසටහන් යටතේ, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ මගපෙන්වීම යටතේ, ත්‍රිකුණාමලය මහ රෝහලේ පර්ෂද ලේ බැංකුවේ රුධිර සංචිත නිසි ලෙස පවත්වාගැනීමේ අරමුණෙන් එම රෝහලේ ඉල්ලීමකට අනුව මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කෙරිණි. මෙම උතුම් සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගන පරිශ්‍රයේ සියළුම නෞකා සහ ආයතනයන්ගේ නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලදී.

නැගෙනහිර නාවික විධානයේ වැඩබලන කොමදෝරු සෞඛ්‍ය අධිකාරී ගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ ත්‍රීකුණාමලය මහ රෝහලෙහි පර්ෂද ලේ බැංකුව වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය ෂීනා ශනුස් මහත්මිය ඇතුළු එම රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද දායකත්වය ලබා දෙන ලදී.