නාවික තාක්‍ෂණික ආයතනයේ පුහුණුව සම්පුර්ණ කළ ශිල්පීය අංශයේ නාවිකයන් 16 දෙනෙක් විසිර යති

වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ 18 වන තාක්‍ෂණික පාඨමාළාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් 16 දෙනෙකු විසිරයාම අද (2022 මැයි 11) වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවි රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව, වැලිසර නාවික තාක්ෂණික ආයතනයේ වසර තුනක (03) කාලයක් පුරා පැවති නාවික තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව හදාරා, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමාව (National Diploma in Technology - NDT) සඳහා සුදුසුකම් ලැබූ ශිල්පීය අංශයේ නාවිකයින් 16 දෙනෙකු මෙලෙස විසිර ගිය අතර, පුහුණු කාලසීමාව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදු කරන ලදී.

ඒ අනුව, නාවික තාක්‍ෂණික ආයතනයේ 18 වන බඳවා ගැනීමේ ශිල්පීය නාවිකයන්ගෙන් නාවික ඉංජිනේරු අංශයේ වැඩිම ලකුණු ලබා ගත් ශිල්පීය නාවිකයා ලෙස පුහුණුවන එන්ජින් කාමර ශිල්පී I ඩීඩීඩබ් මෙන්ඩිස් ද, විදුලි ඉංජිනේරු අංශයේ වැඩිම ලකුණු ලබා ගත් ශිල්පීය නාවිකයා, දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම ඉලක්කකරු ලෙස පුහුණුවන විදුලි ශිල්පී I ඩීඑම්කේටි බණ්ඩාර විසින් ද, මෝටර් රථ ඉංජිනේරු අංශයේ වැඩිම ලකුණු ලබා ගත් ශිල්පීය නාවිකයා සහ දක්ෂතම ශිල්පීය නාවිකයා ලෙස පුහුණුවන මෝටර් රථ ඉංජිනේරු ශිල්පී I ජේආර් මුතුප්‍රසාත් විසින් ද, නැව් බඳ ඉංජිනේරු අංශයේ වැඩිම ලකුණු ලබා ගත් ශිල්පීය නාවිකයා ලෙස පුහුණුවන නැව් බඳ ශිල්පී I ඒආර් ධනජය විසින් ද, එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා වෙතින් කුසලාන හිමිකර ගන්නා ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ සංදර්ශනයකින් විචිත්‍රවත් වූ මෙම විසිර යාමේ පෙළපාලිය සඳහා නාවික හමුදා මූලස්ථානයේ, බටහිර නාවික විධානයේ සහ වැලිසර නාවික හමුදා සංකීර්ණයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් ද සහභාගීවී සිටියහ.