ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ඉන්දීය ශාන්තිකර කළාපීය සමුද්‍රීය ආධිපත්‍ය සමුළුවට ජ්‍යෙෂ්ඨ නාවිකයෙක් ද ඇතුලත් ශ්‍රී ලංකා නාවික හමුදා ධුත පිරිසක් සහභාගී වෙයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඩාර්ලින් වරායේ පිහිටි සිඩ්නි ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ඉන්දීය ශාන්තිකර කළාපීය සමුද්‍රීය ආධිපත්‍ය සමුළුව - 2022 (Indo Pacific Sea Power Conference - 2022) සාර්ථකව නිමාවට පත් විය. මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නියෝජනය කරමින් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් (පුහුණු) රියර් අද්මිරාල් ධම්මික කුමාර සහ නාවික හමුදා ධූත පිරිසක් සහභාගී වූ අතර, මෙම ධූත පිරිසට ප්‍රථම වරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නාවිකයෙකු ද ඇතුලත් විය.

‘21 වැනි ශත වර්ෂයේ ඉන්දු ශාන්තිකර සාගරික අවකාශය - සාර්ව අභිමතාර්ථ’ (The Indo-Pacific Maritime Domain in the 21st Century - A Commonality of Purpose) යන තේමාව යටතේ පැවති මෙවර සමුළුව සඳහා රටවල් 40ක් නියෝජනය කරමින් ධූත පිරිස් මෙන්ම රටවල් 31ක නාවික ප්‍රධානීන් ද සහභාගි වී සිටියහ. මෙම සමුළුවට සමගාමීව රියර් අද්මිරාල් ධම්මික කුමාර, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති නියෝජනය කරමින් ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ප්‍රධානී, වයිස් අද්මිරාල් මයික් නූනන් (Vice Admiral Mike Noonan) හමු වී අනෙයෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව, සමරු තිළිණ හුවමාරු කර ගැනීමට කටයුතු කෙරිණි. මීට අමතරව, රියර් අද්මිරාල් ධම්මික කුමාර සහ සාගරික දේශසීමා ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (Rear Admiral Justin Jones) අතර ද හමුවක් පැවති අතර, එහිදීද සමරු තිලිණ හුවමාරුවක් සිදු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ප්‍රථම වරට ජ්‍යෙෂ්ඨ නාවිකයෙකු මෙම සමුළුවෙහි නාවික අධිකාරි නොලත් නායකයන්ගේ හමුව - 2022 (Navy Enlisted Leadership Conference - 2022) සඳහා සහභාගි වීම, එවැනි ජාත්‍යන්තර සමුළුවකට ජ්‍යෙෂ්ඨ නාවිකයෙකු සහභාගී වූ ප්‍රථම අවස්ථාව ලෙස සනිටුහන් වූ අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවිකයෙකු ලද සුවිශේෂි අත්දැකීමක්ද විය. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ පාලක ප්‍රධාන සුළු නිලධාරි (සංඥා) කේ ප්‍රනාන්දු, එක්ස්සි 33824 හට අනෙකුත් නාවික හමුදා නියෝජනය කරමින් පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නාවිකයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට මෙන්ම අනෙයෝන්‍ය වශයෙන් වැදගත් නව දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමටද මහගු අවස්ථාවක් උදා විය.