ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකා පුහුණු බලඝණයට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි

තෙදින නිල සංචාරයක් සඳහා පසුගියදා කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායේ පුහුණු බලඝණයට අයත් ‘KASHIMA’ සහ ‘SHIMAKAZE’ යන යුද නෞකා ද්විත්වය එම නිල සංචාරය නිමා කරමින් අද (2022 මැයි 21) දිවයිනෙන් පිටත්ව යන ලදී.

පසුගිය 2022 මැයි මස 19 වන දින කොළඹ වරායට සේන්දු වූ මෙම ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් පුහුණු යුද නෞකා ද්විත්වය නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගැනීමට කටයුතු කෙරුණු අතර, ‘KASHIMA’ නෞකාව දිගින් මීටර 143ක් සහ නැව් මුළුව 350ක ගෙන්ද, SHIMAKAZE නෞකාව දිගින් මීටර 150ක් සහ නැව් මුළුව 170ක ගෙන්ද සමන්විත විය.

මෙහිදි, ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකා පුහුණු බලඝණයේ අණදෙන නිලධාරි, රියර් අද්මිරාල් ‘KOMUTA Shukaku’ 2022 මැයි මස 19 වන දින නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු වී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය. එමෙන්ම, එම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තනාතිපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් Gaku Fukaura ද එක්ව සිටි අතර එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. තවද, 2022 මැයි මස 19 වන දින මෙම පුහුණු බලඝණය නිරික්‍ෂණය සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති එම නෞකා ද්විත්වයේ අණදෙන නිලධාරීන් සමඟ සුහඳ පිළිසඳරකද නිරත විය.

මෙම නෞකා ද්විත්වය සමඟ ‍දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකා පුහුණු බලඝණයට අනුයුක්ත පුහුණුවන නිලධාරින්ගේ මෙන්ම මෙරට පුහුණුවන නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීමට සහ දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණි. එහිදි ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකා පුහුණුවන නිලධාරින් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු හා සයුරළ යන නෞකාවන් නිරික්‍ෂණයට සහභාගී වූ අතර, සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අයත් පුහුණුවන නිලධාරින්හට ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා නිරික්‍ෂණය සඳහා අවස්ථාව උදාවිය.

තවද, මෙම නිල සංචාරයේදී ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකා පුහුණු බලඝණයේ අණදෙන නිලධාරි බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර ඇති දෙවන ලෝක යුද්ධයේදී මියගිය රණවිරුවන් ඇතුළු ජපන් ජාතිකයන් අනුස්මරණය කරමින් පුෂ්ප උපහාර දැක්වීම සඳහා ද සහභාගි විය. එමෙන්ම, ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකා ධූත පිරිස බටහිර නාවික විධාන මුලස්ථානයේදී නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති හමු වී සුහද පිළිසඳරක ද නිරත විය.

ඒ අනුව, තෙදින නිල සංචාරය නිමා කරමින් ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකා පුහුණු බලඝණයට අයත් නෞකාවන් අද උදෑසන (2022 මැයි 21) කොළඹ වරායෙන් පිටත්ව ගිය අතර, එහිදි ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ සමඟ බටහිර මුහුදේදී නාවික අභ්‍යාසයක නිරත විමටද නියමිත විය.