සංග්‍රාමික සාහිත්‍යට එක්වන නවතම ග්‍රන්ථය, ‘කළු පරවියෝ’ නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි

පසුගිය මානුෂිය මෙහෙයුම් පැවති වකවානුවේ එල්ටීටීඊයේ ග්‍රහණයේ සිටි පාලක ප්‍රධාන සුළු නිලධාරී එම්ජිඒපි මඩදෙනිය, එක්ස්එස් 38801, එල්ටීටීඊ ග්‍රහණයේ සිටියදී ලද අත්දැක්ම් සහ ගතකළ දුෂ්කර කාලපරිච්ඡේදය අලලා රචිත ‘කළු පරවියෝ’ ග්‍රන්ථය 2022 මැයි මස 26 වන දින නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේ දී එළි දක්වන ලද අතර, එහි පිටපතක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගැන්වීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

මානුෂීය මෙහෙයුම විජයග්‍රහණය කර, ගත වූ වසර 13 පුරාවට එම මානුෂිය මෙහෙයුමෙන් ලද අත්දැකීම් අලලා විවිධ මට්ටමේ පුද්ගලයන් විසින් මෙරට සංග්‍රාමික සාහිත්‍ය පෝෂණය කරමින් ග්‍රන්ථ එළිදැක්වීම සිදු කෙරුණු අතර, එම ග්‍රන්ථ පරිශිලනයෙන් වත්මන් තරුණ හමුදා පුද්ගලයන්හට මෙරට සංග්‍රාමික ඉතිහාසයේ සුවිශේෂි අවස්ථා පිළිබඳ දැනුමක් ලබා ගැනීමට අවස්ථාව උදා විය.

4 වන ඊලාම් යුද්ධය ආරම්භ වූ 2006 වකවානුවේ උතුරු ප්‍රදේශය වෙත ගමන් ගන්නා සියළු ගොඩබිම් මාර්ග අවහිරව පැවති පසුබිමක, උතුරේ සිවිල් මහජනතාව වෙත මුහුදු මගින් ප්‍රවාහන පහසුකම් සැලසීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සහ උතුරේ ගැටුම් පැවති ප්‍රදේශ වෙත භට පිරිස් ප්‍රවාහනය ආරක්ෂිතව සිදු කරමින් උතුරු නැගෙනහිර මුහුදු සංචරණ කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යෑමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරිණි. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරක යාත්‍රා අභියෝගය අභිබවනය කරමින් උතුරු නැගෙනහිර මුහුදු සංචරණ කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීමේ එම වගකීම ඉටු කිරීමේදී නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ විරෝධාර නාවික පුද්ගලයන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව තම වගකීම නොපිරිහෙලා ඉටු කිරීම, මානුෂීය මෙහෙයුම 2009 වර්ෂයේදී විජයග්‍රහණයකින් අවසන් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ගෙන දුන් කරුණක් විය.

එලෙස, 2006 නොවැම්බර් මස 09 වන දින සිදු වූ සුවිශේෂි මෙහෙයුමක් මෙම ‘කළු පරවියෝ’ ග්‍රන්ථයෙහි පසුබිම සඳහා පාදක වී ඇත. එදින ත්‍රිකුණාමලය වරායේ සිට කන්කසන්තුරය වරාය දක්වා උතුරු ප්‍රදේශයට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, නිවාඩුවෙන් පසු පැමිණි නිරායුධ භට පිරිස් සහ සිවිල් වැසියන් 300ක් රැගත් ‘ග්‍රීන් ඕෂන්’මගී ප්‍රවාහන නෞකාව කන්කසන්තුරය වරාය ආසන්නයට පැමිණෙමින් තිබිණි. එම නෞකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට එල්ටීටීඊ ප්‍රහාරක යාත්‍රා එම නෞකාව දෙසට පැමිණෙන බව නිරීක්‍ෂණය කර, එම ප්‍රහාරක යාත්‍රාවන්ගේ මඟඅහුරමින් නෞකාවේ ආරක්‍ෂාව සඳහා යොදවන ලද පි 416 වේග ප්‍රහාරක යාත්‍රාව සහ එහි සහයට පැමිණි පි 461 වේග ප්‍රහාරක යාත්‍රාව සතුරු ප්‍රහාරක යාත්‍රා වෙත ප්‍රහාර එල්ල කර ‘ග්‍රීන් ඕෂන්’ නෞකාව සතුරු ග්‍රහණයෙන් මුදාගැනීමේ දරුණු සටනක නිරත විය. එල්ටීටීඊ ප්‍රහාරක යාත්‍රා වෙත එල්ල කළ ප්‍රබල ප්‍රහාර හේතුවෙන් ‘ග්‍රීන් ඕෂන්’ නෞකාව සතුරු ග්‍රහණයෙන් මුදා ගැනීමට හැකි වූවත්, එම මෙහෙයුමේ දී පි 416 යාත්‍රාවට එල්ල වූ මරාගෙන මැරෙන යාත්‍රා ප්‍රහාරයක් සහ පි 461 වේග ප්‍රහාරක යාත්‍රාවට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් එම යාත්‍රා මුහුදු බත් වී, නිලධාරීන් සිව්දෙනෙකු (04) ඇතුළුව වීරෝධාර නාවික පුද්ගලයන් විසි දෙකක් (22) නාවික හමුදාවට සහ දැයට අහිමි විය. එම මෙහෙයුමේ දී දිවි ගලවා ගත් පී 461 වේග ප්‍රහාරක යාත්‍රාවේ නාවිකයින් තිදෙනෙක් (03) සහ පි 416 වේග ප්‍රහාරක යාත්‍රාවේ එක් (01) නාවිකයෙක් එහිදි එල්ටීටීඊයේ ග්‍රහණයට පත් විය.

මානුෂීය මෙහෙයුම අවසන්වන තෙක් එල්ටීටීඊයේ සිරභාරයේ පුරා වසර දෙකකුත් (02) මාස හයක (06) කාලයක් එම නාවිකයන් ගත කළ ඒ අමිහිරි සහ කටුක අත්දැකීම් සහිත දුෂ්කර කාලපරිච්ඡේදය අලලා පාලක ප්‍රධාන සුළු නිලධාරී එම්ජිඒපි මඩදෙනිය, එක්ස්එස් 38801 විසින් රචිත ‘කළු පරවියෝ’ මෙරට සංග්‍රාමික සාහිත්‍යට එක්වන නවතම ග්‍රන්ථය ලෙස 2022 මැයි මස 26 වන දින නාවික හමුදා මුලස්ථානයේ දී එලි දක්වන ලද අතර, එහි පිටපතක් නාවික හමුදාධිපති වෙත පිළිගැන්වීම එදින සිදු කෙරිණි.

ස්වයං චරිතාපදානයක් ලෙස එලිදැක්වූ මෙම කෘතිය තුළ මාතෘ භූමිය සුරැකීමේ ඒකායන අරමුණෙන් සටන් වැදි ලක්මවගේ වීරෝධාර පුත්‍රයෙකුගේ සිතෙහි හටගත් භීතිය ත්‍රාසය හා කුතුහලය මෙන්ම දරා ගැනීමේ හැකියාව, ඉවසීම සහ ස්ථානෝචිත ප්‍රඥාව පිළිබඳ පාඨකයා දැනුවත් කෙරෙන අතර, චිත්ත ශක්තිය තුලින් කළ නොහැක්කක් නොමැති බවට, සිය නාවික ජීවිතයේ ලද ත්‍රාසජනක, අනුවේදනීය සහ සුවිශේෂි අත්දැකිම් සමුදායක් ඇසුරෙන් අපුර්වත්වයෙන් යුතුව පාඨකයා වෙත සමීප කිරීමට සමත් වී ඇත.

තවද, පාලක ප්‍රධාන සුළු නිලධාරී එම්ජිඒපි මඩදෙනිය, සතුරු අත්අඩංගුවට පත්ව නිදහස ලැබීමට හැකි වීමෙන්, 2006 නොවැම්බර් මස 09 වන දින සතුරා සමඟ දරුණු සටනක නිරත වූ පි 416 සහ පි 461 වේග ප්‍රහාරක යාත්‍රාවන්ගේ නිලධාරින් ඇතුළු විරෝධාර නාවික පුද්ගලයන් එම මෙහෙයුම අවසන් වන තෙක් සතුරාට අභීතව මුහුණ දුන් ආකාරය පිළිබඳ භීතීය, ත්‍රාසය සහ කුතුහලයෙන් යුත් අත්දැකීම් සමුදාය, මෙලෙස කෘතියක් තුළින් විඳ ගැනීමට සියළුම නාවික පුද්ගලයන්ට සුවිශේෂි අවස්ථාවක් ලැබී ඇති අතර, එය ජීවිතයත් මරණයත් අතර සිදු වූ මෙහෙයුමක අත්දැකීම් සජීවි ලෙස විඳ ගැනීමේ විරල අවස්ථාවක් ද වන්නේය.

‘කළු පරවියෝ’ කෘතිය එළිදැක්වීම නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේ දි සිදු කෙරුණු අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන, නාවික හමුදාධිපතිගේ නාවික සහයක රියර් අද්මිරාල් සුජීව සෙනවිරත්න ඇතුළු නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරී එම්ජිඒපි මඩදෙනියගේ පවුලේ සාමාජිකයන් ද සහභාගී වි සිටියහ.