විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව අවසන් කළ නාවික පුද්ගලයින් හට නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 29 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 19 දෙනෙකු හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 ජුනි 05) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.

අති දුෂ්කර වූ විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සඳහා ස්ව කැමැත්තෙන් අනුයුක්ත වී 29 වන බඳවා ගැනීමේ පුහුණු පාඨමාළාව සාර්ථකව අවසන් කිරීමට සමත් වූ නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 19 දෙනෙකු වෙත අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳවීමෙන් පසුව නාවික හමුදාධිපති විසින් මෙම පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්‍රදානය කෙරිණි. එහිදී, සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් සාමාජිකයා, දක්‍ෂතම ක්‍රීඩකයා සහ අතිශූර සාමාජිකයා වශයෙන් උප ලුතිනන් ඒජීආර්එච්එන් අතපත්තු ද, දක්ෂතම වෙඩික්කරු වශයෙන් සාමාන්‍ය නැවි ආර්ඩී ඩිලාන් ද, දක්ෂතම පිහිණුම්කරු ලෙස සාමාන්‍ය නැවි අයිජීඑල්සී ගුණරත්න ද, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සාමාජිකයා වශයෙන් සාමාන්‍ය නැවි ‍කේකේඒඑන් දේශප්‍රිය ද නාවික හමුදාධිපති වෙතින් කුසලාන හිමිකර ගන්නා ලදි.

තවද, විශේෂ යාත්‍රා බලඝණයේ සුවිශේෂී පුහුණුවෙන් ලද පන්නරය විදහා දක්වමින් 29 වන බඳවා ගැනීමට අයත් නාවික පුද්ගලයින් විසින් ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් සිදුකරන ලද අතර, ඒ සඳහා ශ්‍රීලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද එක්විය.

උතුරේ කළපු ආශ්‍රිත නොගැඹුරු මුහුදු තීරයේ සහ ඒ ආශ්‍රිත ගොඩබිම් කළාපයේ එල්ටීටීඊ ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දිය ගොඩ එකලෙස මෙහෙයුම් සිදු කළ හැකි විශේෂීත සන්නද්ධ ඒකකයක් ස්ථාපිත කිරීමේ අරමුණින් 1993 වර්ෂයේදී නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය ස්ථාපිත කරන ලදී. මෙම බලඝණය දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය පිටු දැකීමේ මානුෂීය මෙහෙයුමේදී සුවිශේෂී ක්‍රියාත්විත සිදු කරමින් නාවික හමුදා පෙරපෙළ ප්‍රහාරක බලඝණයන් වෙත විශාල දායකත්වයක් දක්වන ලදී.

මෙම උත්සව අවස්ථාවේදී පුහුණුව අවසන් කළ නාවික පුද්ගලයින් ඇමතූ නාවික හමුදාධිපති, දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදය මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කර දේශයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් විශේෂ යාත්‍රා බලඝණය දැක්වූ දායකත්වය මෙන්ම මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ සහ සටනේදී ආබාධිත තත්වයට පත් වූ විශේෂ යාත්‍රා බලඝණයේ සියළුම නාවික පුද්ගලයින් ගෞරව බහුමානයෙන් යුක්තව සිහිපත් කර සිටින ලදී. තවද, විශේෂ යාත්‍රා බලඝණයට ආවේණික උසස් වෘත්තීය නිපුණත්වය තවදුරටත් ඔපමට්ටම් කර ගනිමින් නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරිම සඳහා අධිෂ්ඨානශිලීව කැපවීම, අද දින ලාංඡන පැළඳි 29 වන බඳවා ගැනීමට අයත් නාවික පුද්ගලයින්ගෙන් නාවික හමුදාව අපේක්‍ෂා කරන බව පැවසූ නාවික හමුදාධිපති, රට වෙනුවෙන් සේවය කිරීම සඳහා තම දරුවන් නාවික හමුදාවට භාරදුන් අද දින විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳි නාවික පුද්ගලයින්ගේ දෙමාපියන් වෙත සිය කෘතඥතාවය පලකිරීමටද මෙහිදී කටයුතු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයැවය හා මුදල් රියර් අද්මිරාල් තිලක් සිගේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න, නාවික දියත් විධානයේ ධජ නිලධාරී රියර් අද්මිරාල් සමන් පෙරේරා, අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ, ධජ නිලධාරීන්, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරි කපිතාන් නිස්සංක වික්‍රමසිංහ ඇතුළු නාවික හමුදා මුලස්ථානය හා නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නාවික පුද්ගලයන් මෙන්ම අද දින ලාංඡන පැළඳි නාවික පුද්ගලයන්ගේ දෙමව්පියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

තවද, විශේෂ යාත්‍රා බලඝණයේ ලාංඡන පැළඳවීමේ අවස්ථාවට සහභාගීවීමට පෙර, 2022 ජුනි මස 04 වන දින නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයන් නැගෙනහිර විධාන නිලධාරී නිවාසයේදී හා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී නාවික හමුදාධිපති විසින් ඇමතීමට කටයුතු කරන ලදි. එහිදී රටේ පවත්නා වත්මන් වාතාවරණය යටතේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීම සඳහා සෑම නාවික පුද්ගලයෙක්ම කැපවීමෙන් කටයුතු කළයුතු බව ප්‍රකාශ කළ නාවික හමුදාධිපති, තම රාජකාරිය වගකීමෙන් ඉටු කිරීම සෑම නාවික පුද්ගලයෙක් වෙතින්ම නාවික හමුදාව අපේක්‍ෂා කරන බව අවධාරණය කරන ලදි.